Friday, April 26, 2024

ඉන්ධන අර්බුදයේ පිරවුම්හල් මාෆියාව සහ තොග රැස්කිරීම නපුරට අතවනා ඇත.

ඊයේ දිනයේ වාර්තා වූ පුවත් වලට අනුව රක්ෂණ සමාගම් පිරවුම්හල් වෙත ලබා දී ඇති රක්ෂණය ජංගම දුරකථන භාවිතය සිදුකළහොත් අවලංගු කරන බවකි.

එහි වාණිජමය පදනම කුමක් වුවත් කිසිදු විද්‍යාත්මක පදනමක් නැත. මේ වන තුරු ලෝකයේ ජංගම දුරකථන නිසා සිදුවූ පිරවුම්හල් ගිනිගැනීමක් වාර්තා වී නැත.

ජංගම දුරකථන අඩු බලැති රේඩියෝ ට්‍රාන්ස්මිටර් සංඛ්‍යාත හරහා වොට් අවම ප්‍රමාණයකින් ක්‍රියාත්මක වෙයි. කෙසේ නමුත් ඉහළ ශක්‍යතා ඇති පවර් බෑන්ක් උපාංග ඊටත් වඩා හානි ගෙන දිය හැකිය. කාර්මික දෝෂ පැවති ජංගම දුරකථන පුපුරා යාමෙන් ඇති වු ගිනිගැනීම් වාර්තා වුවද, පිරවුම්හලක් හළුව යාමට එය ප්‍රමාණවත් නැත. අනෙක් කාරණාවනම් ඉන්ධන ලබාගනිද්දි එන්ජිම ක්‍රියාවිරහිත කරන්න යන ඉල්ලීම සිදුකරන්නේ බැටරිය ලුහුවත්වීම හරහා ඇතිවන ගිනිපුළිඟුවකින් ඉන්ධන හලක ගින්නක් ඇතිවීමේ සම්භාවිතාව ඉතාම ඉහළ හෙයිනි.

මෙහිදී ඉන්ධන පිරවුම්හල් හිමියන් නගන චෝදනාව වන්නේ තමන්ට මේ මොහොතේ මිලදී ගන්නට ස්මාට් ෆෝන් වෙළෙඳපොලේ නැතිබවත්, තම පොම්පකරුවන්ට ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් නැති බවත් ය. නමුත් ඉන්ධන පෝලිම්වල හා පිරවුම් හල් වල සති ගණන් ගතකළ ජනතාවට එම පිරවුම්හල් අසල සජීව ෆේස්බුක් විකාශයන්, දුරකථන පටිගත කිරීම් හා ගැටුම් වලදී ජංගම දුරකථන එකවර 100කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක වූ බව අමතක නැත. එමෙන්ම ඉන්ධන නිකුත් නොකරන වේලාවන්හිදී බොහෝ පොම්පකරුවන් ස්මාට් දුරකථන ආධාරයෙන් ක්‍රිකට් තරග, යූටියුබ්, ටික්ටොක් නැරඹීම අතිශය සුලබ දසුනක් විය.

කිරිඳිවැල නගරයේ IOC පිරවුම් හලට දින දෙකක් තුළ 13200 ටැංකියක් සහ 6600 ටැංකි දෙකක් පැමිණියද විශාල රථවාහන සංඛ්‍යාවක් පෝලිමේය. ගම්පහ IOC පිරවුම් හල සියලුම යතුරුපැදිවලට ඉන්ධන ඊයේ දිනයේ සැපයූවත්, නගරය වටා රවුම් තුනකට පෝලිම් ඇතිවී ඇත.

මීට හේතුව පොලීසිය සහ ඇතැම් ආයතන ප්‍රමුඛතා පදනමෙන් තෙල් ලබාගැනීමත්, ඉන්ධන පිරවුම්හල් කලක් තිස්සේ විශාල ආයතන වලට තෙල් තොග වශයෙන් ලබාදෙමින් කළ ව්‍යාපාරත්, සුළු පිරිසක් විසින් ඉන්ධන එකතුකිරීමේ ආදීනවත් බව පැහැදිලිව පෙනෙන්නට ඇත. ඊයේ කොළඹ මරදානෙ සෞඛ්‍ය අංශ සඳහා පැවැති ඉන්ධන පෝලිම කි.මි 2 ඉක්මවා තිබුණි!

බස්රථ 35කට ඩීසල් සැපයූ විට සම්පූර්ණ ඉන්ධන තොගයක් හමාර වන අතර පෞද්ගලික පොදු ප්‍රවාහන සහ ආයතන ප්‍රවාහන සේවා බස්රථ සඳහා මෙතෙක් විධිමත් වැඩපිළිවෙලක් නැත.

අමාත්‍ය කංචන විජේසේකර මහතා දැඩි පරිශ්‍රමයක් දරා මෙම QR ක්‍රමය ප්‍රචලිත කරන්නට උත්සාහ දරන්නේ ඉදිරි මාස කිහිපය දක්වා ඉන්ධන කළමනාකරණය කර ගැනීම පිණිසය. මක්නිසාද යත් මේ වසර අවසානය වන තුරු IMF මූල්‍ය ප්‍රතිපාදනය පිළිබඳ පැහැදිලි අදහසක් නොමැති වීමයි. එතෙක් පැමිණි තෙල් තොග අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුය. IMF හෝ වෙනත් ආධාර ගැන ස්ථිර ප්‍රකාශයක් තවමත් රටට ලැබී නැත.

ඇතැම් ත්‍රීරෝද රථ සහ ජංගම මැර කල්ලි පොලිස් සහ හමුදා සාමාජිකයන් වෙත බලපෑම් එල්ල කරමින් මෙම පිරවුම්හල් අසල ගැවසෙන බව ප්‍රකට කරුණකි. පිරවුම්හල් හිමියන් පවා ඊට යටත්ව ඔවුන්ට ප්‍රතිරෝධයක් දක්වන්නේ නැත.

ලැබුණු පැට්‍රල් තොගය සිපෙට්කෝ විසින් තවමත් බෙදාහැර නොමැත. ඊට හේතුව තවත් දින කිහිපයකින් මෙම ඉන්ධන අවසරපත් ගැටලුව කල් යාමයි. එබැවින් නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹට පමණක් මෙය ආදේශ කිරීමට සැලසුම් කර ඇති අතර ඒ වනතුරු ජනතාව සිටින්නේ දැඩි පීඩනයකිනි.

එමෙන්ම මෙම QR ක්‍රමවේදය හරහා ඉන්ධන පිරවුම්හලට ලැබුණු තෙල් බෙදී යාම ගැන විනිවිදභාවයක් ඇතිවීම නිසා ජාවාරම් කරගැනීමට ඇති නොහැකියාව නිසා පිරවුම්හල් හිමියන් විරෝධය දක්වන බව ජනතා මතයයි.

රජය මේ අවස්ථාවේදී මැදිහත්ව රක්ෂණ සමාගම් ප්‍රශ්නය සහ ජංගම දුරකථන ප්‍රශ්නයට කඩිනම් පියවරක් නොගතහොත් ඉතිහාසයේ තවත් අගය කළ හැකි ව්‍යාපෘතියක් නැත්තටම නැතිවී ජනතා කැරැල්ලක් රටතුළ ඇතිවීම වළක්වන්නට කිසිදු ජනපතිවරයෙකුට හැකි නොවනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles