Saturday, April 27, 2024

අරගල ප්‍රචණ්ඩත්වයෙන් කරන්න ඕන නෑ. ආයෝජකයෝ එන්න නම් රටේ සාමකාමී පරිසරයක් තියෙන්න ඕන – හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

අවධානම් තැනක තිබෙන අපේ රටේ ආර්ථිකය ගොඩගැනීමට කැපකිරීම් කරමින් සියලු දෙනා එකතු විය යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ අද (20) කොළඹ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“අපි සියලු දෙනා එකතු වෙලා රට කරන්න ඕන කියන මතය තමා සියලු දෙනාගේ තියෙන්නේ. රටේ ජනතාවත් ඉල්ලනවා සියලු දෙනා එකතු වෙලා වැඩ කරන්න. ඉතාමත් අමාරු තත්ත්වයක ආර්ථිකය තියෙන්නේ. විශාල අවධානම් තැනක තියෙන්නේ. අවධානම් තැනක තියෙන ආර්ථිකය ගොඩගැනීමට නම් අපි සියලු දෙනා කැපකරන්න ඕන. අපි සියලු දෙනා එකතු වෙන්න ඕන.

ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමාත් ගරු අගමැතිතුමාත් අද පත්කරපු ඇමති මණ්ඩලය ඒ විෂයන් පිළිබඳව විශාල දැනුමක් තියෙන අය පත් කරල තියෙන්නේ. මේ අභියෝගාත්මක අවස්ථාව, අමාරු අවස්ථාව ජයග්‍රහණය කරන්න නම් මෙවැනි පත් කිරීම් කරන්න ඕන.

ඒ වගේම මෙම පත්කිරීම් තුළ සියලු පක්ෂ නියෝජනය කරමින්, සියලු ස්වාධීන කණ්ඩායම්, සියලු පාර්ශවයන් නියෝජනය කරමින් පත් කරලා තියෙනවා. ඒ නිසා මම ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ස්තූතිවන්ත වෙනවා ඉතා හොඳ ඇමති මණ්ඩලයක් පත් කිරීම පිළිබඳව.

අපි සියලු දෙනා පිළිගත යුතු කාරණයක් තියෙනවා. මේ රටේ ආර්ථිකය ඉතාමත් අමාරුයි. අපි සියලු දෙනා එකතු වෙන්න ඕන. අපට ඩොලර් නෑ. සංචාරකයෝ එන්න අවස්ථාවක් ජනතාව ලබාදෙන්න ඕන අරගල කරන්නේ නැතුව. අරගල සාමකාමීව කරන්න ඕන. අරගල ප්‍රචණ්ඩත්වයෙන් කරන්න ඕන නෑ. ආයෝජකයෝ එන්න නම් රටේ සාමකාමී පරිසරයක් තියෙන්න ඕන. ඒ සඳහා අවස්ථාව සලසා දෙන්න කියන එක අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රට ගොඩගන්න මම සියලු දෙනා එක්ක එකතු වෙලා මේ කරන සියලු දේට කොන්දේසි විරහිතව සහයෝගය දෙනවා. සජිත් මහත්තයා භාර ගත්තේ නෑ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා භාර අරගෙන තියෙනවා. රටේ ලොකු බලාපොරොත්තුවත් තියෙනවා එතුමා පිළිබඳව. ලෝක ප්‍රජාව තුළත් එතුමා පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා අපි අගමැතිතුමා සහ ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා ඒ කටයුතු තනතුරු ගන්නේ නැතුව කරන්න බලාපොරොත්තු වෙනවා.

හරීන් ප්‍රනාන්දු දක්ෂ මන්ත්‍රීවරයෙක්. සංචාරක අමාත්‍යාංශය එතුමට ගැලපෙනවා. සංචාරක අමාත්‍යාංශය මේ රටට අද අත්‍යවශ්‍ය මොහොතක ඒ අභියෝගය භාර අරන් තියෙනවා. අපට නැත්තෙම විදේශ විනිමය. විදේශ විනිමය කෙටිකාලීනව, ඉක්මනින් ලබා ගන්න පුළුවන් ව්‍යාපාරය තමයි සංචාරක ව්‍යාපාරය. මේ රට ගොඩගන්න,  ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසදන්න, තෙල් පෝලිම් නැති කරන්න, ගෑස් පෝලිම් නැති කරන්න පුළුවන් ප්‍රධානම අංශය තමා සංචාරක ව්‍යාපාරය. ඒ නිසා සංචාරක ව්‍යාපාරය ඉහළට ඔසවන්න නම් තනියම එතුමට කරන්න බැහැ. ඒ සඳහා ජනතාවත් සාමකාමීව මේ රට පවත්වාගෙන යන්න ඕනේ. එතකොට එතුමට ඒ ඉලක්කයට යන්න පුළුවන්.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles