Thursday, May 2, 2024

ආයතන ආදායම් වාර්තා මාස 3කට වරක් පාර්ලිමේන්තුවට

රජයේ ආයතන ලබන වසරේ පටන් සෑම කාර්තුවක් අවසානයේම මසක් ඇතුළත තම ආදායම් සහ වියදම් පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කැර සිටියි. වසර 2017 සඳහා ඉදිරිපත් කළ රජයේ ආයතනවල ආදායම් සහ වියදම් පුරෝකථන ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නංවනවාදැයි මැන බැලීමට මේ වාර්තා අනුව හැකියාව ලැබෙන බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියි.

රටේ ආදායම් සහ වියදම් ඉලක්කගත කළ පරිදි සිදු කිරීමට නිසි පාර්ලිමේන්තු අවසරයක් අය වැය සම්මත වීමෙන් පසු හිමි වන බව කී මුදල් ඇමැති රවි කරුණානායක මහතා එලෙස ලද අවසරයට අනුවම රාජ්‍ය ආයතන කටයුතු කරන්නේ දැයි මේ නව වැඩපිළිවෙළින් සොයා බැලිය හැකි බවද කීය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි රජයේ ආදායම් වියදම් පාලනය පාර්ලිමේන්තුව සතු වන බව ප්‍රකාශ කොට තිබුණ ද කලක් ඒවා වචනවලට පමණක් සීමාවී තිබූ බව පැහැදිලි කළ මුදල් ඇමැතිවරයා වත්මන් ජනපති අගමැති සුසංයෝගය නිසා බිහි වූ යහපාලන ආණ්ඩුව වඩාත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ එවන් උදාර දේ නැවත ක්‍රියාවට නැංවීම බවද කියා සිටියේය.

මෙවර අය වැයෙන් රජයේ මූල්‍ය කටයුතු ඒකාබද්ධ කිරීමේ මාවතකට යොමු කොට ඇත. ඒ අනුව ආදායමේ විය හැකි අඩුවීමක් හෝ වියදම සමඟ ගැළපීමක් සිදුවුවහොත් ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත වීම විශේෂත්වයක් වනු ඇත.

මෙයට පෙර මුදල් ඇමැතිවරයා හෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ සිතුමතට පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රජයේ මුදල් භාවිතා කොට ඇත. එය විශාල අඩුපාඩුවකි. රටක මුදල් පාලනයට සිදු වූ හානියකි. නව රජය එම වැරැද්දම වීම වැළැක්වීමට නව පියවර අය වැයෙන් ලබාගත් බවද ඇමැතිවරයා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles