Monday, May 6, 2024

ඇඩ්‍රස් නැත්තෙ ජැක්සන්ටද?

මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය විවෘත කිරීමේ දී සිදු කළ දැවැන්ත ප‍්‍රාසාංගික කටයුත්ත සම්බන්ධයෙන් එල්ල වී ඇති පැමිණිල්ලක් අනුව එම කටයුත්තේ නිර්මාණ අධ්‍යක්ෂවරයා වූ ප‍්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගෙන් ‘බරපතළ වංචා විමර්ශන කොට්ඨාසය’ විසින් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ. මෙම විවෘත කිරීමේ උළෙල පැවැත්වූයේ 2010 වසරේ නොවැම්බර් 18 වන දිනය.


මෙම ප‍්‍රාසාංගික කටයුත්ත සඳහා වූ සමස්ත වියදම සම්බන්ධයෙන් තවමත් සොයා බලමින් සිටින බව වාර්තා වන අතර එහි පිරිවැය දැරුවේ වරාය අධිකාරියය.


මෙම වැඩසටහන වෙනුවෙන් ජැක්සන් ඇන්තනී මහතාට නිශ්චිතවම ගෙවූ මුදල ගැන සඳහන් සටහන් අතුරුදන්ව ඇති බවත් එම අධිකාරියේ ආරංචි මාර්ග පවසයි.


කෙසේ නමුත් මෙහි ප‍්‍රධාන අංගයක් වෙනුවෙන් ප‍්‍රවීණ නර්තනාචාර්යවරු දෙපළක් වන චන්න විජේවර්ධන හා ඔහුගේ බිරිඳ උපුලී විජේවර්ධන මහත්ම මහත්මීන්ට වරාය අධිකාරියේ මාධ්‍ය අංශය ලක්ෂ 150ක් ගෙවා ඇති බව සඳහන් වූවත් ඔවුන් වෙත ගෙවා ඇත්තේ ලක්ෂ 76ක් පමණක් බව මේ වන විට අනාවරණය වී ඇත.


මේ සම්බන්ධයෙන් එම දෙපළ පසුගිය 22 දා බරපතළ වංචා විමර්ශන කොට්ඨාසයට කැඳවා ප‍්‍රශ්න කර තිබිණි. වරාය අධිකාරියේ නිලධාරීන් කිහිප දෙනකුගෙන් ද මේ වන විට ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට ද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබෙන බව වාර්තා වේ.


මේ අතර එම විමර්ශන කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙලෙසම තවත් නාස්තිකාර වියදම්  සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවය.


තවත් කලාකරුවන් හා ප‍්‍රචාරක ආයතන කිහිපයකින් ප‍්‍රශ්න කිරීම ඉදිරියේ දී සිදු වීමට නියමිත බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.


මූලාශ්‍රය – සත්හඬ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles