Sunday, May 19, 2024

නව ආණ්ඩුවේ පොලිසියෙනුත් ‘නිරන්තර වධ හිංසා’

ශ්‍රී ලංකා පොලිසිය සිය අත්අඩංගුවේ පසුවන සැක කරුවන්ට නිරන්තරයෙන් වධ හිංසා පමුණුවන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් ප්‍රකාශ කරයි.ඊයේ (23 වැනිදා) හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය විසින් ශ්‍රී ලංකා පොලිසියේ වගකීම් විරහිත භාවය සහ බලය අනිසි ලෙස භාවිතය සම්බන්ධයෙන් කරුණු හෙළි කරන වාර්තාවක් ප්‍රකාශයට පත් කරමිනුයි මේ බව කියා සිටියේ.

‘අපි ජීවත්වන්නේ නිරන්තර භීතියෙන්’ (We Live in Constant Fear’: Lack of Accountability for Police Abuse in Sri Lanka) යනුවෙන් නම් කර ඇති මෙම වාර්තාවේ ශ්‍රී ලංකා පොලිසිය විසින් සැක කරුවන්ට වධ හිංසා පැමිණවීමට භාවිතා කරන ක්‍රම, අතීතයේ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය සැක කරුවන්ගේ තොරතුරු මෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකා පොලිසියේ වගකිවයුතු භාවය ඇති කිරීමට රජයට ගත හැකි ක්‍රියාමාර්ග සඳහන් යෝජනාවක්ද ඇතුලත් වෙයි.

ශ්‍රී ලංකාව පුරා පැතිර පවතින පොලිස් අපචාර වැළැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ස්වාධීන අධීක්ෂණ අධිකාරියක් පිහිටුවිය යුතු බව එම වාර්තාව යෝජනා කරයි.

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂක බ්‍රැඩ් ඇඩම්ස් පවසන්නේ සැක කරුවන්ගෙන් පාපොච්චාරණ ලබා ගැනීම සඳහා භාවිතා කරන සාමාන්‍ය පිළිවෙතක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය විසින් වධ හිංසා පැමිණවීම සලකන බවයි.police-brutality-

ශ්‍රී ලංකා පොලිසිය සිය අත්අඩංගුවේ පසුවන සැක කරුවන්ට වධ බන්ධන පැමිණවීමට දරුණු ලෙස පහර දීම, විදුලි සැර ඇල්ලීම, වේදනාකාරී ඉරියව් වලින් එල්ලා තැබීම සහ ලිංගික අවයව, දෑස් වැනි සංවේදී තැන් වල මිරිස් ඇතිල්ලීම වැනි හිංසා කිරීමේ උපක්‍රම භාවිතා කරන බව පිටු පනස් නමයකින් යුතු මෙම මානව හිමිකම්  වාර්තාවේ සඳහන්.

මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙන්නේ කොළඹ නගරය ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වල කරන ලද ගවේෂණ වලින් සොයා ගත් කරුණු ඇතුලත් කරමිනි.

බලයට පැමිණි ශ්‍රී ලංකා රජයන් වගකීම් සහිත පොලිස් සේවයක් පිහිටුවීමට අවශ්‍ය සංශෝධන ගෙන එන බවට ප්‍රතිඥා දුන්නත් අත්අඩංගුවට පත්වන සැකකරුවන් ට එරෙහිව කෙරෙන වධ බන්ධන දිගටම සිදු කෙරෙන බවයි වාර්තාවේ සඳහන් වන්නේ.

දේශීය මානව හිමිකම් සංවිධාන විසින් වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකා පොලිසිය සහ බන්ධනාගාර වල සිදුවන අපරාධ සම්බන්ධයෙන් එක් රැස් කරන ලද තොරතුරු සමග නව වාර්තාවේ ඇතුලත් තොරතුරු ඉතා හොඳින් ගැලපෙන බවයි හුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ.

ශ්‍රී ලංකා පොලිසිය විසින් සිය බලතල අයුතු ලෙස පාවිච්චි කරමින් ලංකාවේ නීතියට පිටතින් කටයුතු කරන අතර හේතු දැනුම් දීමකින් තොරව අත්අඩංගුවට ගැනීම, පැය 24කට වැඩි කාලයක් අධිකරණයකට ඉදිරිපත් නොකොට රඳවා තබා ගැනීම, අත්අඩංගුවට පත් සැක කරුවන්ට සිය ඥාතීන් මුණ ගැසීමට ඉඩ නොදීම, වධ හිංසා පමුණුවමින් බලහත්කාරයෙන් පාපොච්චාරණ ලබා ගැනීම වැනි ක්‍රියා සුලබව සිදු කරන බවයි වාර්තාවේ සඳහන් වන්නේ.

2011 පොලිස් අත්අඩංගුවේ දී මියගිය ගයාන් රසාංග, 2015 මාර්තු මාසයේ දී පොලිස් අත්අඩංගුවේ දී පහර කෑමට ලක් වූ ඒජේ වැනි වින්දිතයන්ගේ තොරතුරු ද වාර්තාවේ ඇතුලත්ව තිබේ.human-rights-watch

මේ අතර හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ඉහළ නිලධාරීන් වන බ්‍රැඩ් ඇඩම්ස්, මීනාක්ෂි ගංගුලි, තේජ් ශ්‍රී තාපා ඊයේ දිනයේ ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, අගමැති රනිල් වික්‍රමසිංහ, විදෙස් ඇමති මංගල සමරවීර සහ අධිකරණ අමාත්‍යවරයාද මුණ ගැසී තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව සහ වගකීම් සහගත භාවය ඇතිකිරීම වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ එකඟවූ යෝජනාවලියේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පාර්ශව දෙකේ අදහස් හුවමාරු කර ගැනීමක් ද සිදු විය.

මූලාශ්‍රය – රේඩියෝ ගගන.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles