Thursday, May 2, 2024

එක්නැලිගොඩ – ලසන්ත ඝාතකයින් ආණ්ඩුව තුළම ඉන්නවා – විමල් වීරවංශ

ප‍්‍රදීප් එක්නැලිගොඩ ඝාතනයට සහ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට සම්බන්ධ නියම තැනැත්තන් ඇමති මණ්ඩලයේ තබා ගෙන සිටින වත්මන් ආණ්ඩුව එම ඝාතනවලට සම්බන්ධ බවට චෝදනා එල්ලකොට බුද්ධි අංශ නිලධාරීන් පිරසක් සිරගතකර සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඊයේ (23) කඩුවෙල රන්කඩු පත්තිනි දේවාල පරිශ‍්‍රයේදී “රට වනසන හොර ආණ්ඩුව ගෙදර යවමු”  යන තේමාව යටතේ පැවැති ජනහමුව අමතමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය,

‘‘ මේ වන විට ප‍්‍රදීප් එක්නැලිගොඩ ඝාතන චෝදනා එල්ල කරලා බුද්ධි අංශ නිලධාරීන් 09 දෙනෙක් දින 200කට ආසන්න  කාලයක් තිස්සේ වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කොට තිබෙනවා. එ වගේම ‘මිලේනියම් සිටි’ බුද්ධි අංශ කණ්ඩායමේ ජීවතුන් අතර සිටින එකම බුද්ධි අංශ නිලධාරීයා වූ උදලාගම මහතා ලසන්ත වික‍්‍රමතුංග ඝාතන චෝදනා එල්ල කොට පසුගියදා අත්අඩංගුවට ගෙන සිරගත කළා. ඔහු ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට කිසිදු සම්බන්ධයක් නොමැති අයෙක්.

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට සම්බන්ධ අය සොයා ගන්න  ඕනෙ නම්, පොලීසිය යන්න  ඕනෙ ඇමති මණ්ඩලයට, ඇමති මණ්ඩලයට ගිහින් පොලිස් බල්ලෙකු සෝදිසි කරන්න යැව්වා නම් ඒ බල්ලා නියම කෙනා ගාව හිට ගනී. ඒ වගේම ප‍්‍රදීප් එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධ නියම කෙනා සොයා  ඕනෙ නම් ඒත් පොලීසිය බල්ලා යවන්න  ඕනෙ ඇමති මණ්ඩලයට. අද මේ ආණ්ඩුව ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට සහ ප‍්‍රදීප් එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධව ඇත්ත පුද්ගලයන් ඇමති මණ්ඩලයේ තියාගෙන බුද්ධි අංශ නිලධරීන් හිරේ දමා තිබෙනවා.  රහස් පොලීසිය මේ උදලාගම කියන බුද්ධි අංශ නිලධාරියාගේ ඡායාරූප පවා අරගෙන තිබෙනවා, ප‍්‍රශ්න කිරීම් අතරතුරදී. හඳුනාගැනීමේ පෙරෙට්ටුවට එන අයට කල්තියා පෙන්වන්නයි මේ විදිහට ඡායාරූප අරගෙන ඇත්තේ. නොකළ වරදකටයි  අද මේ බුද්ධි අංශ නිලධාරීන් දඩුවම් විදින්නේ.

මේ අපරාධකාරී ගමන අපි තවදුරටත් ඉවසනවාද? එහෙමනම් අපි කෘතගුණ දත් මිනිසුන් වන්නේ නැහැ. අපි කවර ආක‍්‍රමණිකයා හමුවේත් බොහෝ කලක් ඉවසා සිටියේ නැහැ. පෘතුගීසින් ඇවිත් මේ රට අල්ලා ගත්තා. වැඩි කල් ගියේ නැහැ. ටිකිරි බණ්ඩාර කුමාරයා සේනා සංවිධානය කළා. උපායශීලීව පෘතුගීසීනට මුල්ලේරියාව වැව අසලට ගෙන ආවා. එතැනදී වටකර පහර දුන්නා. පෘතුගීසීන් ආසියාවේදී ලැබූ නින්දිතම පරාජය එම සටනේදී ලැබුවා. සුද්දටත් යුද්ධයෙන් උඩරට අල්ලන්න බැරි වුණා සුද්දා උඩරට ඇල්ලූවේ රජු සහ ප‍්‍රභූ පැළැන්තිය භේද කරලා ඉන් වාසි අරගෙනයි. සුද්දා මේ රට අල්ලාගෙන අවුරුදු 03ක් යනකොට අපේ ඌව-වෙල්ලස්සේ මුතුන්මිත්තන් ආයුධ අරගෙන සටනට ආවා. අපි ඉතිහාසය පුරා වැරැද්ද ඉවසපු ජාතියක් නොවෙයි. එ වගේම යටත්වීම පිළිගත්තු ජාතියක් නොවෙයි.

ඒ නිසා මේ ආණ්ඩුව රට ගෙන යන පරගැති ගමනට ඉඩ දීලා බලා ඉදලා බැහැ. අපි පාරට බහින්න  ඕනෙ. පාරට බහින දවස තමයි ජූලි 28 වැනිදා. ඓතිහාසික කන්ද උඩරට දළදා හාමුදුරුවන් අභියසින් ජූලි 28 වැනිදා උදේ 8.00ට මේ රට වනසන ආණ්ඩුවට එරෙහිව පාරට බහිමු.’’

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles