Thursday, May 16, 2024

ඖෂධ නියාමන අධිකාරිය ජාවාරම්කරුවන් අතට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවයෙහි නිරත ඉහළ නිලධාරීන් ඉවත් කර ඖෂධ ජාවාරම්කරුවන් හා සමීප සබඳතා ඇති බවට තොරතුරු හෙළිව ඇති පුද්ගලයන් එම අධිකාරියේ තනතුරුවලට පත් කිරීමේ මෙහෙයුමක් දියත්ව ඇති බව එම අධිකාරියේ සේවකයෝ පෙන්වා දෙති.

මෙරටට ඖෂධ ගෙන්වීම සඳහා බලපත‍්‍ර ලබා දීම, ඖෂධ ලියාපදිංචි කිරීම හා තත්ත්ව පරීක්ෂාව සිදු කරනු ලබන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසිනි. එහි සභාපති මහාචාර්ය ලාල් ජයකොඩි මහතාටත් ප‍්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ක‍්‍රිෂාන්ත වීරසූරිය මහතාටත් එම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බලපෑම් කර තිබුණේ පසුගිය සතියේ සිකුරාදා දිනය. අදාළ බලපෑම මත ඉකුත් සඳුදා දිනයේ එම නිලධාරීන් දෙදෙනා සිය තනතුරුවලින් ඉවත් වූහ.

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නැගීමට පොරොන්දු වූ සෞඛ්‍ය අමාත්‍යවරයා තම දේශපාලන හිතවතුන්ට ජාවාරම්කාරී ලෙස මෙරටට ඖෂධ රැගෙන ඒමට ඉඩකඩ සලසා දීම පිළිකුල්සහගත බව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාකාරීහු පවසති. සෞඛ්‍ය අමාත්‍යවරයාට හිතවත් ඖෂධ ජාවාරම්කරුවන් කිහිප දෙනකු පසුගිය දිනවල විශාල වශයෙන් ඖෂධ ලියාපදිංචි කර ගැනීමට සූදානම් වූ බවත් සුදුසුකම් සම්පූර්ණ නොකළ ඖෂධවලට ලියාපදිංචිය ලබා ගැනීම හරහා ටෙන්ඩර් පටිපාටියට පිටින් ඖෂධ ගෙන්වීමට උත්සාහ කළ බවත් ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි. මහා පරිමාණ දූෂණ සඳහා අවස්ථාව නොලද හෙයින් සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඖෂධ නියාමන කොමිසමේ ඉහළ නිලධාරීන්ගෙන් පළිගැනීම ආරම්භ කළ බව ද ඔවුහු පෙන්වා දෙති. මෙරටට ඖෂධ සපයන ප‍්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් කිහිප දෙනකු රට තුළ බරපතළ ඖෂධ හිඟයක් ඇතැයි පෙන්වා දි ලියාපදිංචියකින් තොරව කඩිමුඩියේ ඖෂධ ගෙන්වීමට ක‍්‍රියා කරමින් සිටිති. මේ ජාවාරම්කාර සැපයුම්කරුවෝ ටෙන්ඩර් දැමීමේ දී ද එකඟතාවයෙන් කටයුතු කර ඖෂධ හිඟයක් ඇති වෙන්නට ඉඩ හැර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් ලැබුණු පසුව ඖෂධ ගෙන්වීමට ක‍්‍රියාකර ඇත. ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට දූෂිත ගනුදෙනු සිදු කිරීම සඳහා ‘සහකාර අධ්‍යක්ෂ ජනරාල් සැපයුම්’ නම් නව තනතුරක් හඳුන්වා දීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා සූදානම් වන බව දැනගන්නට ඇත.

මෙරට ඖෂධ ගෙන්වන ව්‍යාපාරිකයන් ‘ජාවාරම්කරුවන්’ ලෙස අප හැඳින් වූයේ මෙම ව්‍යාපාරය මුළුමනින් ජාවාරමක් වන බැවිනි. ඒ දෙවැනි වන්නේ අවි ආයුධ ජාවාරමට පමණි. ඉදිරි සතියේ දී අප මේ පිළිබඳව සම්පූර්ණ හෙළිදරව් කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමු.

(දයා නෙත්තසිංහ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles