Friday, April 26, 2024

කුඩා මාලදිවයින හරහාත් හමාගිය දකුණු ආසියාවේ සමාජ මාධ්‍ය දුස් තොරතුරු කුණාටුව ගැන දැනගන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මකව දුස් තොරතුරු නොඑසේ නම් ව්‍යාජ පුවත් පැතිරවීමේ වැඩපිළිවෙළ අද වන විට ලෝකය තුළ මහත් අවදානයට ලක්වූ ක්ෂේත්‍රයකි. ඉන්දියාව, පකිස්තානය, ශ්‍රී ලංකාව වැනි රටවල සිදුවූ මෙවැනි වැඩපිළිවෙළ පිළිබද තොරතුරු රැසක් පසුගිය කාලසීමාවේදී අනාවරණය විය. මේ දකුණු ආසියාවේ කුඩාම රාජ්‍යයක් වන මාලදිවයිනේ සිදුවූ එවැනි දුස් ‍තොරතුරු පතුරුවා හැරීමේ වැඩපිළිවෙළක් පිළිබද CIA ගවේෂණාත්මක පර්යේෂණ අංශයට ලැබුණු අධ්‍යනයක් හරහා සිදුකෙරෙන අනාවරණයකි.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකින් සමන්විත මාලදිවයිනේ ජනාධිපතිවරයා ලෙස 2013 සිට 2018 දක්වා කටයුතු කළේ ප්‍රගතිශීලී පක්ෂයේ අබ්දුල්ලා යමීන්ය. කෙසේවෙතත්, 2018 සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයේ දී, විපක්ෂ නායක ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි ජයගත් අතර අබ්දුල්ලා යමීන්ගේ පක්ෂය විසින් එය අභියෝගයට ලක් කළද සාර්ථක නොවූයේ එම මැතිවරණය සාධාරණ එකක් බවට තහවුරුවීම හේතුවෙනි. අනතුරුව පැවති මාලදිවයින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද ඊබ්‍රහිම් සෝලි සහ මොහොමඩ් නෂීඩ් ප්‍රමුඛ මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජයගත් අතර ඔවුන් විසින් ජාත්‍යන්තරය තුළ වන සියලු පාර්ශව සමග මිත්‍රශීලි සබදතා පවත්වාගෙනයාමේ ප්‍රවේශයක් අනුගමනය කළේය. ඒ අනුව චීනය ඇතුළු රටවල් සමග මිත්‍රශීලී සබඳතා පවත්වාගෙන යන අතරම දිගු කලක සිට මාලදිවයින විසින් අනුගමනය කළ ‘ පළමුව ඉන්දියාව ’යන ප්‍රතිපත්තියට ද වැදගත් ස්ථානයක් දුන්නේය.

එහෙත්, ජාත්‍යන්තර සබදතා තුළ චීනයට නැඹුරු ඒක පාර්ශවීය දේශපාලනය ප්‍රවේශයක් අනුගමනය කළ අබ්දුල්ලා යමීන් සහ ඔහුගේ ප්‍රගතශීලි පක්ෂයේ ඇතැම් පිරිස් මෙම ප්‍රතිපත්තියට එරෙහිව ක‍ටයුතු කරන්නට වූ අතර එහිදී අනුගමනය කළ ප්‍රධානතම ආයුධයක් වූයේ ට්විටර් සමාජ ජාලය හරහා දියත් වූ දුස් ‍තොරතුරු වැඩපිළිවෙලයි. ඒ අනුව, #IndiaOut නමින් ඉන්දියන් විරෝධී ට්විටර් හැෂ්ටැගයක් නිර්මාණය කරනු ලැබූ අතර එය 2019 හි හදිසියේ වේගවත් වී 2020 සැප්තැම්බර් මාසයේදී එහි උච්චතම ස්ථානයට පත්ව ඇති බව පහතින් ඔබට කියවිය හැකි පර්යේෂණ වාර්තාව හරහා නිරීක්ෂණය කළ හැකිය.

මෙම දුස්තොරතුරු වැඩපිළිවෙළ මාලදිවයිනේ දියාරෙස් සහ මෝල්ඩිව්ස් ජර්නල් (Dhiyares’, ‘Maldives Journal’ ) යන ප්‍රධාන මාධ්‍යවල සම ආරම්භකයෙකු වන ජනමාධ්‍යවේදී අහමඩ් අසාන් විසින් ක්‍රියාත්මක කරන ලද්දක් බව අනාවරණය වී තිබේ. ඔහු අබ්දූල් යමීන්ගේ හොරණෑවක් බවට පත්වීමට අමතරව, ඉන්දියානු විරෝධී මතවාදය පෝෂණය කරන අතරේ චීන ගැති මාධ්‍ය භාවිතයක නිරතව ඇති අයුරුද නිරීක්ෂණය කළ හැකිය. සමාජ මාධ්‍ය යොදාගෙන දුස්තොරතුරු පතුරවන ආකාරය පිළිබද හොදින් හෙළිදරව් කෙරෙන අහමඩ් අසාන්ගේ #IndiaOut සහ සෙසු ව්‍යාපෘතින් පිළිබද කරුණු සහිතව සිදුකර ඇති පහත අධ්‍යයනය කියවා බැලීම දකුණු ආසියාවේ දුස්තොරතුරු ව්‍යාපෘතීන් පිළිබද අවබෝධ කර ගැනීමට මනා පිටිවහලක් වන බව ද නිසැකය.


සමාජ මාධ්‍ය හරහා දුස්-තොරතුරු පැතිරීම් සෙවීම පිළිබඳ විශ්ලේෂකයකු විසිනි.

මේ පිළිබඳ සිදුකරන ලද පරිපූර්ණ වාර්තාවක මුල් පිටපත මෙහි බාගත කරගෙන පරිශීලනය කරන්න.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles