Sunday, May 5, 2024

කෝප් කමිටුව හදිසියේ 29දා රැස්වෙයි

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනෙන විශේෂ කෝප් කමිටු රැස්වීමක් ලබන බදාදා (29) සවස 2.00ට පැවැත්වීමට නියමිතව ඇත. එම විශේෂ කෝප් කමිටු රැස්වීමේ දී මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් කරන ලද විගණනය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරන අතර ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කෙරෙන බව ඊයේ (26) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකචාඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය.
දින 100 ආණ්ඩුව පැවැති සමයේදී සිදු වූ ගනුදෙනු ගැන එවකට පැවැති කෝප් කමිටුවේ විමර්ශනයක් කෙරුණු අතර වාර්තාව ඉදිරිපත් වීමට පෙර ආණ්ඩුව විසුරුවා හැරීමක් සිදු වූ අතර ඒ අතරම එම කමිටු වාර්තාවට එරෙහිව එම ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වාරණ නියෝගයක් ද ගෙන තිබිම හේතුවෙන් තොරතුරු රටට අනාවරණය නොවූ බව විජිත හේරත් මහතා කීය.
ආණ්ඩුව දිගින් දිගටම උත්සාහ කළේ මෙම ගනුදෙනු පිළිබඳ තොරතුරු ජනතාවට වසං කිරීමට යැයි ද සඳහන් කළ විජිත හේරත් මහතා සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සභාපති ධුරයට කෝප් කමිටුවට පත් වූවාට පසුව මහ බැංකු සිද්ධියට අදාළව කෝප් කමිටු වාර්තා පරීක්ෂණයන් ආරම්භ කළ බවද පෙන්වා දුන්නේය.
නව කෝප් කමිටුව පත්ව මාස 4ක් ගත වී තිබෙන බවත් මීට මාස 3කට ඉහතදී මහ බැංකු ගනුදෙනුව පිළිබඳව කෝප් කමිටුව විමර්ශනයක් ආරම්භ කළ බවත් විගණකාධිපතිවරයා හරහා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විගණන පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසට කෝප් කමිටුව නිර්දේශ කළ බව ද ඒ මහතා කීය.
ලබන බදාදා රැස්වෙන විශේෂ කෝප් කමිටු රැස්වීමට විගණකාධිපති වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත යැයි ද පැවැසූ ඒ මහතා මෙම ගනුදෙනුව හෝ මහ බැංකු අධිපතිවරයා ආරක්ෂා කරන්න කිසිවෙකුට ඉඩ නොදන බව පැහැදිලිවම කියා සිටින බව ද පැවැසීය.
එසේම එම ගනුදෙනුව ගැන හෙළිදරව් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බවටද සහතික කළේය.

Add comment

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles