Tuesday, May 7, 2024

ගෑස් සිලින්ඩර පුපුරන්න හේතු හොයන්න ජනපති කමිටුවක් පත් කරයි

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.


මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද සිල්වා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්.ඩී.ඩබ්. ජයතිලක, මහාචාර්ය ප්‍රදීප් ජයවීර, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු, කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම යන මහත්වරු පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
අවශ්‍ය සියලු පාර්ශ්වයන්ගේ හා දැනට ඇති අධ්‍යනයන් හා විවිධ අදහස් විමර්ශනය කර, සති දෙකක් ඇතුළත වාර්තාව තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිතුමා කමිටුවට උපදෙස් දී තිබෙනවා.

එහි අවසන් වාර්තාව ලබන සිකුරාදා වන විට ලබා දිය යුතු බවට ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

මේ අතර මෙම සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ උපදේශක සභාව රැස් කරන්නැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අද පෙරවරුවේ එය රැස්වනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles