Monday, April 29, 2024

ශ්‍රී ලංකාවට චීනය එරෙහිව බැටන් පොල්ල ගනීවිද ?

චීනයේ ලෝක නියෝජනය සහ ලෝක ව්‍යාප්තිය රහසක් නොවේ. එය මුහුණුවර කිහිපයකින් ක්‍රියාත්මක වන එකකි . එහෙත් ඔවුන් සතු අරමුණ පොදු එකකි. ඒ ආර්ථික ව්‍යාප්තිය සහ බල ව්‍යාප්තියයි. ඔවුන් විසින් ක්‍රියාත්මක කරන එක මාවතක් එක තීරුවක් වන සංකල්පයේ සැබෑ අරුත ඔවුන්ගේ මෙම ද්වී බල ව්‍යාප්තියයි. දකුණු ආසියාව තුළ චීන ක්‍රියාකාරීත්වයේ තීරණාත්මක කේන්ද්‍රයක් ව ඇත්තේ ශ්‍රී ලංකාවයි. ඒ අනෙකක් නිසා නොව, ශ්‍රි ලංකාවේ භූ ගෝලීය පිහිටීමය. මේ නිසා දකුණු ආසියාව තුළ ඔවුන් තම ‘එක මාවතක් එක තීරයක්’ සංකල්පය තුළින් වැඩියෙන්ම සමීප වන්නට උත්සාහ කළේ ශ්‍රී ලංකාවට ය. අද වනවිට පාකිස්ථානය තුළත් මාලදිවයින සහ දැන් ඇෆ්ගනිස්තානය තුළත් බරපතළ ලෙසින් සිය ව්‍යාප්තිය ප්‍රදර්ශනය කර ඇත. ඒ තුළ පවතින අධිපතිවාදීත්වය අඩු වැඩි වශයෙන් ඔවුන් ප්‍රදර්ශනය කළද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන් දක්වා ඇති කැපකිරීම් මත ඔවුන් අධිපතිවාදයේ බැටන් පොලුවලින් පහර දෙන්නට පටන් ගත්තේ 2017 වසරේදී ය. ඒ ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක ණයක් වෙනුවෙන් හම්බන්තොට වරාය 99 අවුරුද බද්දකට ලියා ගැනීමය. මෙය රාජ්‍යතාන්ත්‍රිකයන් විග්‍රහ කරන්නේ බලහත්කාරී අත්පත් කර ගැනීමක් ලෙස ය. ඩිප්ලොමැට් වෙබ් අඩවියට ලිපියක් ලියන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳව ලේඛිකාවක වන සුදා රාමචන්ද්‍රන් පවසන්නේ ඊට පසුව පත් වූ රජය මේ ගනුදෙනුව යළි ආපසු හැරවීමට උත්සාහ කළද චීන දැඩි බලපෑම තුළ එය සිදු කර ගැනීම හිතලුවක් පමණක් බවට පත්වූ බවය.

ඒ චීනයේ පළමු තීරණාත්මක බලහත්කාරී ක්‍රියාව ය. එයින් පසුව චීනය ඉතා සූක්ෂම රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයමුක් සමඟ ශ්‍රී ලංකාවේ සියලු අංශ සමඟ යම් යම් සමීපත්වයට එන්නට පටන් ගත්තේය. මේ වනවිට චීන සිල්ලර කඩ පවා අපේ රටේ ඇතැම් හන්දිවල, නගරවල දැකිය හැකි තරමටත් ඇතැම් නාම පුවරු, ආහාර ලේබලවල චීන අකුරු මුද්‍රණය කරන්නට සිදුවන තරමටත් සැලකිය යුතු ව්‍යාප්තියක් විය. එහෙත් ඒ තුළ සංස්කෘතිමය බලහත්කාරී ස්වභාවයක් ආරෝපණය වුවද යළි ආර්ථික සහ සමාජයීය මට්ටමින් ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නට ආවේ පසුගිය කාලයේ රටේ අදූරදර්හී කාබනික කෘෂි වැඩපිළවෙළ හේතුවෙන් රට අන්දමන්ද වූ අවස්ථාවේ චීනයෙන් ගෙන්වන ලද ව්‍යාධිජනක අඩංගු කාබනික පොහොර ටොන් 22,000 ක අසන්න ප්‍රමාණයයි. එම අවස්ථාවේ ඇති වූ විවාදාපන්න තත්ත්වයයි. මෙම පොහොර තොගය ගෙන්වීමේදී එහි ආනයනකරුවන් වූ රජයට අයත් පොහොර සමාගමක් කිසිදු වග විභාගයකින් තොරව කටයුතු කර තිබුණද මෙම පොහොර තොගයට අනයන බලපත්‍රයක්වත් නොමැති තත්ත්වයක් තුළ බලහත්කාරී ස්වරූපයෙන් එම පොහොර තොගය සහිත නැව ශ්‍රී ලංකාව ආසන්නයට ගෙන ආවේ සිය රාජ්‍ය තාන්ත්‍රික ශක්තිය උපයෝගී කරගෙන නැව රට තුළට ගෙන පොහොර තොගය ගොඩබාන්නට ය. එහෙත් ඒ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් අවහිර වූයේ පැළෑටි නිරෝධායන සේවය ඇතුළු කෘෂි ක්ෂේත්‍රයේ නියෝජනය කරන රාජ්‍ය නිලධාරින්ගේ කශේරුකා, දේශපාලකයන්ගේ නිවටකම් සහ චීන බලහත්කාරකම් හමුවේ නොනැමුණු නිසාවෙනි. එහෙත් මාස දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව තුළ කරක් ගැසූ පොහොර නැවට ආපසු චීනයේ ක්වින්ඩාවෝ වරාය වෙත සේන්දුවන්නට අවසානයේ සිදුවිය. එහෙත් මේ නැව මාස දෙකක් ශ්‍රී ලංකාව වටේ කරකැවෙන මොහොතේ සිට අද වන තෙක් මේ නැව සම්බන්ධයෙන් චීන රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම මෙන්ම චීන පොහොර සමාගමේ බලපෑම්වලින් නිමක් නැත. චීනය මෙම පොහොර නැවට අදාළ ගෙවීම් නිකුත් කිරීම නවත්වන්නට මහජන බැංකුවට සිදුවූයේ අධිකරණ වාරණ නියෝගයක් නිසාය. එසේවුවද මේ වාරණ නියෝගය නොසළකමින් එනම් රටේ නීතිය ගැන නොතකමින් චීන පොහොර සමාගමට මුදල් නොගෙව්වේය යන චෝදනාව මත එම බැංකුව අසාදු ලේඛන ගත කිරීමකට ලක් කිරීමට තරම් සැහැසි විය. එයින් පසුව සිංගප්පූරුවේ බේරුම්කරණ ආයතනයක් හරහා ඩොලර්මිලියන 6.7ක වන්දියක් ඉල්ලුවේය. එන්නත් හරහා කොවිඩ්වලින් මිරිකී සිටින ජාතියකට සිය එන්නත් රාජ්‍ය තන්ත්‍රය (Vaccine Diplomacy) හරහා සහන දෙන්නට ක්‍රියා කළ චීනය විදේශ විනිමය අර්බුදය හේතුවෙන් දැඩි පීඩනයක සිටින ශ්‍රී ලංකාවට මෙම ගනුදෙනුව තුළ කිසිදු සධාරණයක් සහනයක් දෙන්නට කටයුතු කළේ නැත. අවසානයේ ශ්‍රි ලංකාවට සියලු ප්‍රශ්න මැද ඩොලර් මිලියන 6.7ක් ගෙවන්නට සිදුවිය. එය ඔවුන්ගේ දෙවන බලහත්කාරකමයි.

මේ පොහොර නැව් ගනුදෙනුව තවමත් අවසානයක් කරා ඇවිත් නැත. ඒ නැවේ ගඳ මෙරටින් යන්නටත් මත්තෙන් තවත් චීන සමාගමක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය තන්ත්‍රෙය් ඉහළම තැනට යම් අනතුරු ඇඟවීමක් කරයි. ඒ, එම සමාගමට මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර කොටස ඉදි කිරීම සඳහා තොරා නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි. මේ චෝදනාව කරන්නේ ශ්‍රී ලංකාව තුළ කටුනායක අධිවේගී මාර්ගය පිටත වටරවුම් අධිවේගී මාර්ගය ඇතුළු මාර්ග ව්‍යාපෘතිවල ප්‍රධාන ක්‍රියාකරුවකු ලෙසින් කටයුතු කළ එම්සීසී නම් සමාගමයි. මෙම සමාගමේම අනුබද්ධ සමාගමක් ඉහත මාර්ග කොටස වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ලංසුව නොසලකා ඊට වැඩි ලංසුවක් දැමූ දේශීය කොන්ත්‍රාත්කාර සමාගමකට එය ලබා දීම ඔවුන් දකින්නේ තම සමාගම ඩොලර් මිලියන 235කට තැබූ ලංසුව නොසලකා ඩොලර් මිලියන 374ක් ලංසු තැබූ දේශීය සමාගමක් වෙත ලබා දීම සම්බන්ධයෙනි. ඔවුන් මේ පිළිබඳව ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබේ. එහෙත් මහමාර්ග අමාත්‍යංශය කියන්නේ මූල්‍ය ලංසුව ගැන සැලකීමකට කලින් මෙම සමාගම සම්බන්ධ සෙසු පිරිවිතරයන් ද සලකා බැලිය යුතු බවය. හේතුව මත ලංසුව තබන්නේ ජනාධිපතිට ලිපිය ලියන එම්සීසී සමාගම නොව ඊට අනුබද්ධ සමාගමක් වීමය. එහෙත් මේ අඳෝනාව තුළ චීන සමාගම ජනාධිතිවරයාගේ ප්‍රතිපත්තිමය ගමන් මඟ පිළිබඳවද සරදම් සහගත සටහනක් මේ ලිපිය තුළ තබා ඇති බව සඳහන් වෙයි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම වැඩි පිළිවෙළ අනුව ක්‍රියාත්මක වන වැඩකටයුතුවලදී මේ ආකාරයෙන් ඉතා ඉහළ මිල අධික ව්‍යාපෘති සිදු කිරීමෙන් වන පාඩුව පිළිබඳව ශ්‍රි ලංකාවේ ජනතාව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරනු ඇතිය යනුවෙනි.

මේ ලිපිය චීනයෙන් මේ ගනුදෙනුව පිළිබඳව එන පළමු ලිපියයි. එය තුළ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියටද යම් අභියෝගයකට ලක් කර ඇත. ඊළඟ ලිපිය ඔසවාගෙන ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා හමුවට එනු ඇත්තේ චීන තානාපතිවරයා ය. ඒ තුළ චීනය මෙතෙක් ප්‍රකාශ කරන ලද රාජ්‍ය තාන්ත්‍රික බැටන් පොල්ල ද ඔහු දිගු කිරීමට ඉඩ ඇත. එවිට අපට සිදුවන්නේ කොණ්ඩේ බැඳපු චීන්නුන් සේ සිටින්නට ය. මේ වනවිටත් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ ඛේදනීය ඉරණමට පත්ව ඇති බව පෙනේ.

මේ සියල්ල අභියොග්තාමක ය. අද චීනය මේ ආකාරයෙන් සිය ගමන්මඟ තුළ මේවැනි අර්බුද නිර්මාණය කරගන්නා ආකාරයක් අපට පෙනේ. ලිතුවේනියාව එවැනි රක් රටකි. එහෙත් ශ්‍රී ලංකාවට මෙවැනි බලහත්කාරකම් හමුවේ අඩි පොලොවේ ගසා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව මේ මොහොතේ නැත. එහෙත් තරම දැන ක්‍රමෝපායිකව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත.

උපුටා ගැනීමකි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles