Thursday, May 16, 2024

ජනපති මෛත්‍රී පැමිණි දින ගුවන් තොටුපලේදී අසුවූ පිස්තෝලකරු කව්ද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ රෝමයේ සංචාරයක නිරත විය. එතුමා රෝමයේ සිට යළි දිවයිනට ආ දිනයේ සෙල්ලම් පිස්‌තෝලයක්‌ කකුලේ ගසාගෙන සිටි සිවිල් ගුවන් සේවා නිලධාරියකු ගුවන්තොටුපළේදී හසුවීම නිසා පුවත් මැවෙන්නට විය. ඒ ඉකුත් 16 වැනිදාය.

මෙරට පළමු පුරවැසියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ සංචාරයකට ගොස්‌ මවුබිමට පා තබන දිනයේ ම සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරියකු සෙල්ලම් පිස්‌තෝලයක්‌ කකුලේ සඟවාගෙන සිටියදී ආරක්‍ෂක අංශවලට හසුවීම සැබැවින්ම ප්‍රශ්නයකි.

නමුත් මෙම සිවිල් ගුවන් සේවා නිලධාරියා එලෙස සෙල්ලම් පිස්‌තෝලයක්‌ සඟවා ගෙන සිටියේ ගුවන්තොටුපළ ආරක්‍ෂාව තහවුරු කර ගැනීමට සිදු කළ රහසිගත උපායක්‌ නිසා බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පසුව නිවේදනය කළේය.

ගුවන්තොටුපළක ආරක්‍ෂාව සහතික කිරීමට යෙදවූ බව කියන මෙම උපාය දූතයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරටට පැමිණෙන දිනයේම යෙදවීම නිසා කොයි කවුරුත් විමතියට පත් වූහ.

මීට පෙර අවස්‌ථාවකදී පාර්ලි මේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ ආරක්‍ෂක යකු පිස්‌තෝලයක්‌ ඉන ගසාගෙන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අසලටම ගිය බව කියූ සිද්ධියක්‌ දෙබරයට ගල්ගැසූ පරිදි ඇවිස්‌සිණි. නමුත් ගුවන් තොටුපළේ මේ සෙල්ලම් පිස්‌තෝල උපාය දූතයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගුවන්තොටුපළින් නික්‌ම ගිය පසු හසුවීම නිසා එය පෙර සිද්ධිය සේ ඇවිලී නොගිය වගද කිව යුතුය.

ඇත්තටම සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන්තොටුපළ ආරක්‍ෂාව පිළිබඳ රහසිගත උපාය ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන දිනයේ ම ක්‍රියාත්මක කිරීම නම් ප්‍රශ්නයකි.

වසරකට දින 365 ක්‌ තිබියදී මෙදිනම මේ උපාය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට මේ නිලධාරීහු තීරණය කළේ මන්දැයි හෙළිවී නැත.

සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ සිද්ධිය පිළිබඳ පවසන්නේ මෙවැන්නකි.

“ලෝකයේ ගුවන් තොටුපළවල ආරක්‍ෂාවට තර්ජන තිබෙනවා. මෙරට ගුවන්තොටුපළේ ආරක්‍ෂක විධි විධාන සොයා බැලීම සිවිල් ගුවන් සේවා අධිකාරියේ වගකීමයි. එනිසා උපාය දූතයකු ලෙස සෙල්ලම් පිස්‌තෝලකරුවකු යොදවා ගුවන්තොටුපළ ආරක්‍ෂක අංශවල ශක්‌තිමත් බව සොයා බැලුවා. එහි කිසි වරදක්‌ නෑ. ජනාධිපතිවරයා මෙන්ම ජනාධිපති ආරක්‍ෂක අංශ පවා එම පරිශ්‍රයෙන් ඉවත්ව ගිය පසු මෙම රහසිගත උපාය මාර්ගය ආරක්‍ෂක තත්ත්වය සොයා බැලූ බවද සඳහන්”

මේ පිළිබඳ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර කියා ඇත්තේ පොලිසිය දැනුවත් නොකර ගුවන්තොටුපළේ මේ සිද්ධිය කර ඇති බවයි. සිවිල් ගුවන් සේවා අධිකාරිය යෙදවූ බව කියන උපාය දූතයා සෙල්ලම් පිස්‌තෝලය සමඟ පොලිස්‌ නිලධාරීන්ගේ අත් අඩංගුවට පත් වූයේ නම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සිදුවන බවද කියා තිබිණි.

ඇත්තටම මේ රටේ ඇතැම් සිද්ධීන් වලදී වම් අත කරන දේ දකුණු අත දන්නේ නැති ලෙස වැඩ සිද්ධවේ. ගුවන් තොටුපළේ ආරක්‍ෂක විධි විධාන සොයා බැලීමට ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන දිනයම යොදා ගැනීම ඒ තීන්දු ගත් නිලධාරීන්ගේ අදූරදර්ශී තීන්දුවක්‌ වන්නට ද ඉඩ තිබිණි.

වේලුපිල්ලේ ප්‍රභාකරන් දැන් ජීවතුන් අතර නොසිටීම ඇත්තකි. නමුත් රටක ජනාධිපතිවරයාට, අග මැතිවරයාට පමණක්‌ නොව වෙනත් ප්‍රභූවරයකුට සතුරන් නොසිටිය හැකි බවට සහතික දිය හැක්‌කේ කා හටද?

වරක්‌ අධිවේගී මාර්ගයක පීත්ත පටිය කපා දැමීමට කතුර අතට ගෙන බෙරසක්‌ හඬ මැද පීත්ත පටිය අසලට ගිය ඇමැතිවරයාට කලින් කාන්තාවක්‌ පීත්ත පටිය කපා අහවලාට ජයවේවා යෑයි කීවේ රටේ ආරක්‍ෂාවට සරදම් කරමිනි.

ජනාධිපතිවරයා එන දිනයේම කටුනායක ගුවන්තොටුපළට, සිවිල් ගුවන් සේවා නිලධාරියකු යොදවා ආරක්‍ෂාව පරීක්‍ෂා කිරීම සුළුවෙන් නොතැකිය යුත්තකි.

මේ උපාය දූතයා අදාළ රාජකාරියට සූදානම් කළේ ජනාධිපතිවරයා මෙරටට ඒමට පෙරාතුව නම් ඔහුගේ සිතුම් පැතුම් පිළිබඳ සහතික දිය හැක්‌කේ කා හටද?

මිනිසුන් යනු විවිධ සිතුම් පැතුම් සහිත සත්ත්ව විශේෂයක්‌ බව නොකිව මනාය. විටක හඬන්නේද තවත් විටක සිනාසෙන්නේද, විටක දයානුකම්පාවෙන් කටයුතු කරන්නේද තවත් විටක ආවේගයෙන් කටයුතු කරන්නේද මේ මිනිසාමය.

ජනාධිපතිවරයකු පිටරටක ගොස්‌ යළි මෙරටට එන දිනයේ ම උපාය දූතයින් යොදවා ගුවන් තොටුපළේ ආරක්‍ෂාව සොයා බැලීම කොතරම් නිවැරදි දැයි නොදනිමු.

දේශපාලනයේදී එදිරිවාදිකම් පාන පිරිස අපමණය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම ජනාධිපතිවරණයට පෙර සිටම වේදිකාවක්‌ වේදිකාවක්‌ පාසා ඒ ජීවිතවලට එල්ල වන තර්ජන පිළිබඳ කී බව මතකය.

එනිසා රටේ පළමු පුරවැසියාගේ ආරක්‍ෂාව පිළිබඳ කිසිවකුට සැහැල්ලුවෙන් කටයුතු කළ නොහැකිය. මෙවැනි සිද්ධියක්‌ පසුගිය පාලන සමයේ වී නම් අදාළ වගකිව යුතු නිලධාරීන්ට අත්වන ඉරණම කවරක්‌ දැයි මේ තීන්දු ගත් නිලධාරීන් ම කල්පනා කර බැලීම වටින බව පමණක්‌ ලියා තබමි.

(දිවයින)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles