Friday, April 26, 2024

ඩීසල් නැව වෙලාවට නාවොත් ලොක්ඩවුන් කල් දමන්න වේවි – රනිල්

රටට අවශ්‍ය ඩීසල් සඳහා මුදල් ගෙවා නොතිබීම හේතුවෙන් රට යළි විවෘත කිරීම ප්‍රමාද විය හැකි බවට තමන්ට දැන ගන්නට ලැබුණු බවත් දැන් මුදල් ගෙවා ඩීසල් නැවක් ශ්‍රි ලංකාවට පැමිණෙමින් තිබුණද යම් හෙයකින් නියමිත දිනට නැව නොපැමිණියහොත් ලොක්ඩුවන් තත්ත්වය ඔක්තෝබර් මැද දක්වා දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රි ලංකා ජාත්‍යන්තර වානිජ මණ්ඩලය විසින් ශ්‍රි ලංකාවේ ආර්ථිකය පිළිබඳව සංවිධානය කර තිබූ සූම් තාක්ෂණය ඔස්සේ වැති සම්මන්ත්‍රණයකදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ආර්ථිකය පිළිබඳව පැහැදිලි කිරීමකින් පසුව අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.

එහිදී ඔහු සඳහන් කළේ රටේ ආර්ථික ගැටලු විසඳීමේ සහ විදේශ ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දේශීය ආර්ථික ප්‍රතිකර්ම පිළිබඳව තමන් තුළ ලොකු විශ්වාසයක් නැති බවය.

එහිදී  පැවසුවේ ධම්මික පැණියෙන් පසුව තමන්ට දේශීය ප්‍රතිකර්ම පිළිබඳව පවතින විශ්වාසය තුරන් වූ බවයි.

මුදල් ගෙවූවද ලබන ඔක්තෝම්බර් පළවනදා වන විට රටට ඩීසල් නොලැබුණොත් යළිත් ලොක්ඩවුන් රෙගුලාසි කාල සීමාව දීර්ඝ කිරීමට සිදුවන බවයි එක්සත් ජාතික පක්ෂ නායකයා පෙන්වා දුන්නේ.

ඒ අනුව ලබන මස මැද දක්වා ලොක්ඩවුන් රෙගුලාසි දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවටද ඔහු අවධාරණය කළා.

“අපි ආනයන මත යැපෙන රටක්. අද මෝටර් රථ ගෙන්වන්න බැරි තත්ත්වයක්. අපේ ආර්ථිකයේදී ආනයන අවශ්‍යයි. අද රට තිබෙන්නේ අබියෝගාත්මක තැනක. එක අතකින් ලෝක ණය අර්ඉුදයක් අපේ රටේ තවත් ණය අර්බුදයක්. මේ වනවිට රටක් ලෙස විශාල විදේශ විනිමය ණය මුදලක් අපට ගෙවන්නට තිබෙනවා. විදේශ සංචිත අඩුව තිබෙනවා.. රාජ්‍ය ණය වැඩිවෙලා.අපි මේ අපේ අයවැය පරතරය වසරක් තුළ සියයට 9.5ත් 10.5ත් අතර ප්‍රමාණයකින් වැඩිවෙලා. දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය අගය වැඩිවෙලා.
අපි කොහොමද මේ ප්‍රශ්නවලින් පිටතට යන්නේ අපට ගෝලීය තත්ත්වයෙන් බැහැරව යන්න බෑ. අපට ජාත්‍යන්තර අරමුදල වැනි තැනකට මේ අර්බුදය ගන්න ණය ගන්න වෙනවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles