Friday, May 3, 2024

තායිවානයට යුදමය වශයෙන් සහය දෙන ඕනෑම රටකට දරුණු  ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවෙයි – චීනයෙන් තර්ජනයක්

තායිවානයට යුදමය වශයෙන් සහය දෙන ඕනෑම රටකට ‘දරුණු  ප්‍රතිවිපාක‘ අත් විඳීමට සිදුවනු ඇතැයි චීනය අනතුරු අඟවයි.

චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමෙන් වළකින්නැයි එක්සත් රාජධානියේ චීන තානාපති කාර්යාලය එරට ඇතැම් දේශපාලඥයන් වෙත අවධාරණය කර තිබේ.

එය ගින්දර සමඟ සෙල්ලම් කිරීමක් බවත් චීනය එය හෙළාදකිනවා සේම ඊට තදින් විරුද්ධ බවත් එක්සත් රාජධානියේ චීන තානාපති කාර්යාලය අවධාරණය කරයි.

ලෝකයේ ඇත්තේ එක් චීනයක් පමණක් බවත් තායිවානය එහි වෙන් කළ නොහැකි කොටසක් බවත් සියලු පාර්ශව එය අවබෝධ කරගත යුතු බවත් එම කාර්යාලයේ ප්‍රකාශකයෙකු සදහන් කර තිබේ.

එක්සත් රාජධානියේ චීන තානාපති කාර්යාලයේ මෙම ප්‍රකාශයට හේතුවී ඇත්තේ එක්සත් රාජධානියේ මන්ත්‍රී මණ්ඩලයේ මහා කමිටුව මාර්තු 3 වන දින තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මැයෙන් පැවැත් වූ විවාදයේ දී පළවූ ඇතැම් අදහස්ය.

එහිදී ඇතැම් ජනතා නි‍යෝජිතයෝ චීනයේ තායිවාන කලාපය ඈත පෙරදිග යුක්රේනය ලෙස හැඳින්වූ අතර එක්සත් රාජධානිය තායිවානය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතු බවට ද අවධාරණය කළහ.

“තායිවානය පිළිබඳ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බවත් තායිවානයට යුදමය වශයෙන් ආධාර දීමට ඉදිරිපත් වන ඕනෑම රටකට දරුණු ප්‍රතිවිපාක අත්විඳීමට සිදු වනු ඇතැයි”ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කර්නල් ටෑන් කෙෆෙයි පසුගිය සිකුරාදා දින මාධ්‍යවේදීහු ඉදිරියේ ප්‍රකාශ කළහ.

චීනය තායිවානය සමග එකතු වීම “කිසිවෙකුට හෝ කිසිම බලවේගයකට නැවැත්විය නොහැකි බවත් මෙම කාරණය සම්බන්ධයෙන් බාහිර මැදිහත්වීම් වලක්වාලීමට චීන හමුදාව සූදානමින් සිටින බවත්”ජ්‍යෙෂ්ඨ කර්නල් ටෑන් වැඩි දුරටත් පැවසීය.

තායිවානය ආරක්ෂා කිරීමට වොෂින්ටනය තීරණය කළහොත් ඔස්ට්‍රේලියාවට වොෂින්ටනය සමග එක් නොවී සිටීමට නොහැකි යැයි ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක ඇමති පීටර් ඩටන් තර්ක කිරීමෙන් දින කිහිපයකට පසුව කර්නල් ටෑන් මෙසේ ප්‍රකාශ කළේය

ඊයේ (13) ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක ඇමති පීටර් ඩටන් ඔහුගේ භාෂාව මෘදු කරමින් ඉරිදා කියා සිටියේ ඕස්ට්‍රේලියාව ලබාදෙන  ප්‍රතිචාරය ඕස්ට්‍රේලියානුවන්ට අවාසිදායක නොවන අයුරින් ලබාදෙනු ඇති බවය. තායිවානය පැවසුවේ මෙම වසරේ සිය වාර්ෂික මිසයිල නිෂ්පාදන ධාරිතාව දෙගුණ කිරීමට සැලසුම් කර ඇති බවය.

තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයේ මෙම  නිවේදනය නිකුත් වූයේ තායිවානය ඉදිරි වසර පහ තුළ මිලිටරි වියදම් සඳහා අමතර ඩොලර් බිලියන 8.6ක් අනුමත කිරීමෙන් පසුවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles