Saturday, April 27, 2024

දකුණු අප්‍රිකාව තුළ සිදුකරන පරීක්ෂණ කොරෝනා සාම්පලවලින් හතරෙන් තුනක් ඔමික්‍රෝන් බවට අනාවරණයක්

දකුණු අප්‍රිකාව තුළ මේ දිනවල පරීක්ෂණ සිදුකරන කොරෝනා සාම්පලවලින් හතරෙන් තුනක් පමණ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනයවූවන්ගේ බවට අනාවරණය වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාවෙන් මේවනවිට හඳුනා ගැනෙන දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දකුණු අප්‍රිකාවෙන් ගතවූ පැය 24 දී කොරෝනා ආසාදිතයින් 8, 561 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම සංඛ්‍යාව ඊට පෙර දින වාර්තා වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව දෙගුණයක පමණ ඉහළ යාමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනා ගැණුනු රටවල් අතරට අද එක්වුණා.

එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ සිය රටින් ද පළමු වරට ඔමික්‍රෝන් ආසාදිතයෙකු හඳුනා ගැනුණු බවයි.

අප්‍රිකානු රටකින් පැමිණි කාන්තාවකට එලෙස ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී තිබෙනවා. කෙසේවෙතත් අදාළ කාන්තාව පැමිණි රට කුමක්ද යන්න එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙතෙක් අනාවරණ කර නැහැ.

ඔමික්‍රෝන් ආසාදිතයෙකු හඳුනා ගැනුණු දෙවන ගල්ෆ් කලාපීය රට වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

මේවනවිට ලොව රටවල් 29 කින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූවන් හඳුනාගෙන තිබෙනවා.

එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් මේවනවිට ජාත්‍යන්තරයේ දැඩි අවදානයක් යොමුව ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයෙකු සිය රටින් ද හමුවූ බව අමෙරිකාව නිවේදනය කිරීමත් සමගයි.

කෙසේවෙතත් කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් හෝ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියේ දැඩි බලපෑමට ලක්වූ ඉන්දියාවෙන් මෙතෙක් ඔමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වී නැහැ.

Neth News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles