Wednesday, May 8, 2024

ප්‍රවීණ රංගධර සමිපත් තෙන්නකෝන් ජීවන රඟ මඬලට සමුදෙයි

ප්‍රවීණ වේදීකා සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වූ සම්පත් තෙන්නකෝන් මහතා අද (03) අලුයම අභාවප්‍රාප්ත විය .

1959 ජුනි 20 වැනිදා උපත ලද ඔහු මියයනවිට 62 වැනි වියෙහි පසුවිය. පසුගිය දිනවල පෙනහළු පිළිකා රෝග තත්වයක් නිසා අසනීප තත්වයෙන් පසුවිය.කෙටිකලක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය .

කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි සිසුවෙකුවූ ඔහු වේදිකා නාට්‍ය 50කට වැඩි ප්‍රමාණයක් රඟපා ඇති අතර ඔහුගේ මංගල සිනමා අත්දැකීම 1990 විජය ධර්ම ශ්‍රී විසින් අධ්‍යක්ෂණය කරන ලද හිම ගිර චිත්‍රපටයේ සුළු චරිතයක් විය. එතැන් පටන් ඔහු චිත්‍රපට 12ක පමණ රංගනයෙන් දායක වී ඇත.

දයාරත්න රටගෙදරගේ ‘ගුරු ලිසී’ නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාව හරහා රංගනයට ප්‍රවිශ්ට සම්පත් තෙන්නකෝන් මහතා ‘නුඹ විතරක් තළ එළලුයි’ නාට්‍යයේ කළ ලූෂන් නැමැති චරිතයෙන් රාජ්‍ය නාට්‍ය සම්මානයට ද පාත්‍ර වූවේය. එමෙන්ම ‘තල මල පිපිලා’, ‘හිට්ලර්’, ‘අඹුසැමියෝ’ සහ ‘ගුරු තරුව’ වැනි වේදිකා නාට්‍ය රැසකටම රංගනයෙන් දායක විය.

“විජය ධර්ම ශ්‍රී ගේ “ආරාධනා” චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක ලෙසින් සිනමාවට අවතීර්ණ වූ සම්පත් “හිමගිර” චිත්‍රපටයෙන් සිනමා රංගනයට අත්පොත් තැබීය. ඉන්පසු “අහස් මාළිගා”, “මධුරි”, “ගිනි අවි සහ ගිනි කෙළි” සහ “සරෝජා” වැනි චිත්‍රපට කිහිපයක ම රංගනය කළේය. සෝමරත්න දිසානායකයන්ගේ “සිරි රජ සිරි” චිත්‍රපටයේ ශෙහාන්ගේ පියාගේ චරිතයත්, “සිරි පැරකුම්” චිත්‍රපටයේ සංඝරාජ හිමිගේ චරිතයත් ඔහුගේ සිනමා චරිත අතර මතකයේ රැඳෙන චරිත ද්විත්වයකි. තිරගත වීමට නියමිත ජැක්සන් ඇන්තනීගේ “එකගෙයි සොකරි” චිත්‍රපටයේ සම්පත් කැපී පෙනෙන පැවිදි චරිතයක් ඔස්සේ අපට නුදුරේම දක්නට ලැබෙනු ඇත.

එසේම ඔහු පුත්‍ර සමාගම,රෝමය ගිනිගනී,ගුරුතරුව,ජගන් මා,ඒකා අධිපති,සුබ සැන්දෑවක් ඇතුලු වේදිකා නිර්මාණ රාශියකට පණ පෙවීය.

ඔහු ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ රත්නා ලාලනී ජයකොඩි මහත්මියගේ දයාබර සැමියා ද විය.ඔවුන් මුලින්ම මුණගැසුණේ පුත්‍ර සමාගම වේදිකා නාට්‍යයේදීය. ගීතා කාන්ති ජයකොඩි (බිරියගේ නැගණිය) , පබෝදා සංදීපනී,  බිමල් ජයකොඩි (බිරියගේ සොයුරාගේ පුතා) හා සුජානි මේනකා ඔහුගේ ළඟම ඥාතීන්ය.
 ස්නේහා,වෙරෝනා සහ මහා විරු පඬු , දිවි තුරා වැනි ටෙලි නාට්‍යවල රඟපෑ සම්පත් ගුරු තරුව, මායාදේවි, පුත්‍ර සමාගම, තලමල පිපිලා වැනි වේදිකා නාට්‍ය නිසාද හිම ගිර, අහස් මාලිගා, ගිනි අවි සහ ගිනි කෙලි, සරෝජා ,සිරි රජ සිරි, බෝම්බ සහ රෝස, සිරි පැරකුම් හා ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්  වැනි චිත්‍රපට නිසාද ප්‍රකටය.

අභාවප්‍රාප්ත වූ සම්පත් තෙන්නකෝන්ගේ දේහය ඔහුගේ පෞද්ගලික ඉල්ලීමක් මත පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදු කර නිමකරන බව දන්වා තිබේ. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles