Sunday, May 19, 2024

දඩිබිඩියේ ලුතිනන් වූ යෝෂිතගේ තෝම්බුව එළියට !

ශී‍්‍ර ලංකා නාවික හමුදාව 1950 වසරේ දෙසැම්බර් මස 09 වැනි දින පිහිටවනු ලබන්නේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ සකලවිධ පූර්වාදර්ශයන් අනුගමනය කරමිනි. ඒ නිසා ම අදටත් මෙය හඳුන්වනු ලබන්නේ රාජකීය නාවික හමුදාව (Royal Navy) නමිනි.

ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සමුද්‍රික මෙහෙයුම් දියත් කිරීම සහ මුහුදු සීමා ආරක්‍ෂා කිරීම මූලික අරමුණ කරගෙන ඇති නාවික හමුදාවේ ලුතිනන්වරයකු වීම ඉතා වෙහෙසකර අභ්‍යාසයක ප‍්‍රතිඵලයක් බවට පත් වී ඇත්තේ, හොඳට හෝ නරකට අධිරාජ්‍යවාදී සංස්කෘතික ලක්‍ෂණ නාවික හමුදාව තුළ නොඅඩුව දක්නට ලැබෙන නිසා ය.

නාවික හමුදාවට ආධුනික ලුතිනන්වරයකු වශයෙන් බැඳීමට අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම් වන්නේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉංගී‍්‍රසි, ගණිතය, විද්‍යාව සහ සිංහල විෂයයන් ඇතුළත්ව සම්මාන හයක් සහිතව සමත් වී තිබීම සහ උසස් පෙළ ගණිත අංශයෙන් සම්මානයක් සහිතව සමත් වී තිබීමයි.

නාවික හමුදාවේ විධායක නිලයක් වන ලුතිනන් තනතුර සඳහා මෙවැනි සුදුසුකම් නිර්දේශ කිරීමට ද පදනමක් තිබේ.

නාවික ගමන්වලදී සහ මෙහෙයුම්වල දී අවශ්‍ය දුර හා දිශානතීන් පිළිබඳව සහ චලිතය පිළිබඳව වන භෞතික විද්‍යාත්මක සංකල්ප ඇතුළුව ගණිතමය දැනුම ඊට අත්‍යවශ්‍ය වේ.

ඒ නිසාම ඉහත සඳහන් අධ්‍යාපන සුදුසුකම් සහිතව බඳවා ගනු ලබන ආධුනික නිලධාරීන් ති‍්‍රකුණාමලයේ නාවුක හා සාගර අභ්‍යාස ආයතනයේ පූර්ණකාලීන පාඨමාලාවක් සම්පූර්ණ කළ යුතු වේ. එම කාලය තුළ පවුලේ අය සමඟ සම්බන්ධතා පැවැත්වීම පවා සීමා කර ඇත්තේ, එම පුහුණුව එතරම් සංකීර්ණ හා දුෂ්කර පුහුණු පාඨමාලාවක් නිසාවෙනි.

සුදුසුකම් වෙනස් කරලා 

හිටපු ජනාධිපති, මහින්ද රාජපක්‍ෂගේ පුත් යෝෂිත රාජපක්‍ෂ නාවික හමුදාවටත්, ආධුනික කෙඩෙට් නිලධාරියකු ලෙස බඳවා ගන්නේ මෙවන් වූ වටපිටාවක් නාවික හමුදාව තුළ තිබිය දී ය.

එහෙත්, 2006-07 වර්ෂ සඳහා ඔහු ආධුනිකයකු ලෙස බඳවා ගන්නා අවස්ථාවේ එතෙක් නාවික හමුදාවේ පැවැති බඳවා ගැනීමේ තිබුණු මූලික ප‍්‍රතිපත්ති පවා වෙනස් කෙරිණි.

එතෙක් ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා තිබීම අත්‍යවශ්‍ය සුදුසුකමක් වුව ද, 2006-07 වර්ෂයේ දී පමණක් කලා අංශයෙන් ද උසස් පෙළ හදාරා තිබීම ගැටලුවක් නොවන පරිදි බඳවා ගැනීමේ ප‍්‍රතිපාදන වෙනස් කර ඇත.

යෝෂිත රාජපක්‍ෂට ඉහත කී නිලයට අයැදුම් කළ හැකි වන්නේත් එවිට ය.

හිටපු ජනාධිපති, මහින්ද රාජපක්‍ෂගේ බලපෑම මත පුත‍්‍රයා නාවික හමුදාවට ඇතුළු කර ගැනීම සඳහා මෙසේ බඳවා ගැනීමේ ප‍්‍රතිපාදන වෙනස් කළ බව මේ වනවිට රටට ද රහසක් නොවන අතර, එය එසේ ම යැයි ඇස් පනාපිට ඔප්පු කරමින්, ඊ ළඟ වසරේ සිට නැවතත් බඳවා ගැනීමේ සුදුසුකම් පෙර පැවැති තත්ත්වයට ම පත් කරන ලද්දේ නාවික හමුදාවේ එවකට සිටි ප‍්‍රධානීන් ද ජනතාව ඉදිරියේ විහිළුකරුවන් බවට පත් කරමිනි.

පුහුණුව – වායු සමනය කළ කාමරයක 

ති‍්‍රකුණාමලයේ නාවික හා සාගරික අභ්‍යාස ආයතනයේ පුහුණුව තුළ න්‍යායික පුහුණුව සහ ප‍්‍රායෝගික පුහුණුව ශාරීරික අභ්‍යාසයන් ද ඇතුළත් වුවත්, යෝෂිත රාජපක්‍ෂට එවැනි පුහුණුවක් අදාළ වූයේ නැත. ඒ වෙනුවට ඔහු පුහුණු කාලය තුළ ගත කළේ නාවික හමුදාවේ වායු සමනය කළ කාමරයක් තුළ ය.

ජනාධිපතිවරයාගේ පුතා වීම නිසා යෝෂිතගේ ආරක්‍ෂාවට තර්ජනයක් තිබෙන බැවින්, එවැනි පියවරක් ගත් බව නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් ප‍්‍රකාශ කළේ තම නිරුවත වසා ගැනීමට වෙනත් ක‍්‍රමයක් නොමැති නිසා ය.

අන්තේවාසිකයින් නොදන්නා දේ !

මෙසේ පියාගේ ඒකාධිපති බලතල යොදා ගනිමින්, නාවික හමුදාවේ ලූතිනන්වරයකු වූ යෝෂිත රාජපක්‍ෂ පිළිබඳව කයිවාරු ගැසූ මහින්ද රාජපක්‍ෂගේ අන්තේවාසිකයින් එදා කියුවේ බි‍්‍රතාන්‍යයේ රජ කුමරුන් ද හමුදාවට බැඳෙන බවත්, ජනාධිපතිගේ පුතෙකු ද හමුදාවට ලබා දීමෙන් මහින්ද රාජපක්‍ෂ විසින් සිදු කර ඇත්තේ, ලෝකයටම ආදර්ශයක් සපයන කි‍්‍රයාවක් බවත් ය.

දෙවැනි ලෝක යුද සමයේ සෝවියට් දේශයේ නායක, ජෝසප් ස්ටාලින්ගේ පුතා රතු හමුදාවට බැඳී හිට්ලර්ගේ හමුදාවේ අත්අඩංගුවට පත් වූ බවත්, ඒ අත්අඩංගුවේ දී ඔහුව පෙන්වමින්, හිට්ලර් ස්ටාලින් සමඟ ඞීල්වලට එළැඹීමට උත්සාහ කළ ද, ස්ටාලින් ඒවාට එකඟ නොවීම නිසා හිට්ලර්ගේ ඝාතකයන් විසින් ස්ටාලින්ගේ පුතා මරා දැමූ බවත්, ඒ අන්තේවාසිකයින් නොදන්නවා වන්නට ඇත.

යෝෂිත රාජපක්‍ෂට නාවික හමුදාවේ ඒ.සී. කාමරවල රජ සැප දීම ඔවුන්ට ආදර්ශයක් වන්නේ ඒ නිසා ය.

නිරුවත් ජවනිකා 

ලුතිනන්වරයකු ලෙස නාවික හමුදාවට බැඳුණු තැන් පටන් ම යෝෂිත රාජපක්‍ෂගේ නිරුවත් ජවනිකා ජනතාවට බලා ගත හැකි විය.

ඉන් පළමුවැන්න නම්, බි‍්‍රතාන්‍යයේ හැම්ෂයර් සහ යුකේ‍්‍රනයේ පුහුණුවක් සඳහා යෝෂිත රාජපක්‍ෂව යොමු කිරීමයි.

බි‍්‍රතාන්‍යයේ පුහුණුව සඳහා යොමු කරනු ලබන්නේ වසරේ හොඳම දක්‍ෂතා දක්වන ආධුනික නිලධාරියා වුව ද, 2006-07 වසරේ එසේ දක්‍ෂතා දැක් වූ නිලධාරියා වෙනුවට යෝෂිත රාජපක්‍ෂට ඒ අවස්ථාව හිමි වන්නේ ද ජනාධිපති තාත්තාගේ ආනුභාවයෙන් මිස අන් කවරකින් හෝ නොවේ.Yasara-Yoshitha

එසේ සේනාධිනායක තාත්තාගේ පිහිටෙන් පුහුණුවට යන යෝෂිත බි‍්‍රතාන්‍ය පුහුණුව අවසානයේ පැවැති විභාගයෙන් විෂයයන් හයෙන් හතරක් ම අසමත්ව ලංකාවට පැමිණෙන්නේ එම පාඨමාලාව අවසන් වූ ලංකාවේ පළමුවැන්නා බවට පත් වෙමිනි.

යෝෂිත රාජපක්‍ෂ විසින් නාවික හමුදාවට බැඳීමේ පටන් නාවික හමුදා පුහුණුවට සිදු කළ හොර වැඩ සහ වංචා පිළිබඳව සොයා බැලීමට රියාද් අද්මිරාල් සී.ඩබ්ලිව්.බී. වෑත්තෑව මහතාගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක් පත් කරන්නේ මේ අතරතුර ය.

එම කමිටුව විසින් මේ වන විට යෝෂිත රාජපක්‍ෂගේ බලය යොදාගෙන සිදු කර ඇති වංචා පිළිබඳව තවත් තොරතුරු හෙළිදරවු වී තිබේ. එම තොරතුරුවලින් කොටසක් මෙහි දැක්වේ.

බලය යොදාගෙන සිදු කර ඇති වංචා 

නාවික හමුදාවට බඳවා ගත් 45 වැනි කණ්ඩායම සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් වූයේ අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් එක් වරක දී ඉංගී‍්‍රසි, ගණිතය, විද්‍යාව සහ සිංහල සඳහා සම්මාන සහිතව විෂයයන් හයකින් සමත් වී තිබීම සහ උසස් පෙළ ඕනෑ ම විෂයධාරාවකින් විෂයයන් දෙකක් සමත් වී තිබීමයි.

– ආධුනික කෙඩෙට් නිලධාරී වයි. කේ. රාජපක්‍ෂ (N.R.X. 2431) සිංහල විෂයය සඳහා සම්මාන සාමාර්ථයක් ලබාගෙන නොමැත. එසේ ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික ඔහුගේ පෞද්ගලික ලිපි ගොනුව තුළ ද දක්නට නොමැත.

– බඳවා ගැනීම සඳහා සලකනු ලබන අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ අදාළ වසරේ දී එතෙක් පැවැති තීරණය වෙනස් කරනු ලැබූයේ කුමන කි‍්‍රයාපටිපාටියක් යටතේ ද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් නැත.

– නාවික අභ්‍යාස ආයතනය තුළ පුහුණු වීම් සිදු කරන කාලය තුළ සහ ඉන් පසුවත් ඔහුගේ ආරක්‍ෂාව සඳහා ඔහුට වඩා නිලයෙන් උසස් නාවික නිලධාරියකු සහ තවත් නාවික සෙබළුන් දෙදෙනකු යොදවා තිබීම නාවික හමුදා මූලධර්මයන්ට පටහැණි ය.

ඉහතින් දැක් වූයේ පත් කරනු ලැබූ කමිටුව විසින් ආරක්‍ෂක ඇමතිවරයා වන ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙහෙයවන විට සකස් කර ඇති වාර්තාවේ සඳහන් මූලික නිර්දේශයන් තුනයි.

මේ අතර, නාවික හමුදාවේ දක්‍ෂතම පුහුණු කෙඩෙට් නිලධාරියා ලෙස යෝෂිත රාජපක්‍ෂට සම්මාන ලබා දීම ද පෙර සැලැසුම් කර සිදු කර ඇති බවත්, මෙම කමිටුව විසින් අනාවරණය කරගෙන තිබේ. එය මෙහෙයවා ඇත්තේ, එවකට හමුදාපතිව සිටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් බව කරුණු අනාවරණය වන බව ද එම වාර්තාව වැඩි දුරටත් අනාවරණය කරයි.

යුකේ‍්‍රනයේ ආරක්‍ෂක උපාධිය

මීට අමතරව යුකේ‍්‍රනයේ ආරක්‍ෂක අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධිය සඳහා 2009 ඔක්තෝබර් 29 වැනි දින ඇතුළු වන්නේ යෝෂිතගේ මාමා කෙනකු වන එවකට තානාපතිවරයකු වූ උදයංග වීරතුංගගේ මැදිහත් වීමෙනි.

කිසිදු තෝරා ගැනීමේ පරීක්‍ෂණයක් නොමැතිව එම විශ්වවිද්‍යාලයට ඇතුළු වන යෝෂිත රාජපක්‍ෂ 2010 අගෝස්තු මස 31 වැනි දින දර්ශනපති උපාධියක් සහිතව එයින් පිටවෙයි.mr_121407_03

මෙම පාඨමාලාවේ ප‍්‍රධානියාව සිටි මහාචාර්යවරයා උදයංග වීරතුංගගේ සමීප හිතවතකු බව ද වාර්තා වේ.

මෙම කාලය තුළ යෝෂිතගේ සියලු දීමනා, අධ්‍යාපන ගාස්තු පමණක් නොව දුරකථන බිල්පත් පවා නාවික හමුදාව විසින් ගෙවා ඇති අතර, එය සිදු වී ඇත්තේ, එවකට ආරක්‍ෂක ලේකම්, ගෝඨාභය රාජපක්‍ෂගේ බලපෑම මත ය.

 

ජනාධිපති ආරක්‍ෂක අංශයට

ඉන් අනතුරුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුදැනුම මත යෝෂිත රාජපක්‍ෂව ජනාධිපති ආරක්‍ෂක අංශයට අනුයුක්ත කරනු ලබන අතර, රාජකාරි ස්ථානය ලෙස අරලියගහ මන්දිරය නම් කරනු ලැබිණි.

මෙසේ තාත්තාගේ සෙවණේ අරලියගහ මන්දිරයට වී රාජකාරී කිරීම සඳහා නාවික හමුදාවේ සම්පත් කිසිදු හිරිකිතයකින් තොරව යොදා ගත් යෝෂිතට ඉදිරියේ දී අමුතුවෙන් වන්නට දෙයක් නැත.

හවුල් ආණ්ඩුව සිදු කරන පරීක්‍ෂණ කටයුතු අවංකව කි‍්‍රයාත්මක වුවාහොත්, පියාට, වැඩිමහල් සොහොයුරාට හා ඥාතීන්ට මෙන් ම ළඟ ම අන්තෙවාසිකයින්ට ද ලැබෙන්නට නියමිත දේ යෝෂිතට ද නොඅඩුව ලැබෙනු ඇත.

එහෙත්, දැනට කි‍්‍රයාත්මක ප‍්‍රසිද්ධ ඩීල් සංස්කෘතිය තුළ කුමන අලුගුත්තේරුකමක් කළත්, රැකෙන්නට හැක්කේ යැයි රාජපක්‍ෂලාට සිතන්නට වටපිටාවක් ගොඩනැඟුණහොත්, යෝෂිතට තව දුරටත් නාවික හමුදාවේ සිය පට්ටම් සහ වරප‍්‍රසාද රැකගෙන මැදමුලනට හෝ මිරිහානට වී තාත්තාගේ ආරක්‍ෂාව පිළිබඳව ද සොයා බලමින්, පහසුවෙන් වාසය කිරීමට නොමඳ අවකාශය ලැබීම සහතික ය.

මූලාශ්‍රය – ලංකා පුවත්පත

ඡායාරූප – Colombo Page

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles