Monday, May 6, 2024

නව රේගු ආඥ පනත-හකුළා නොගත්තොත් අඛණ්‌ඩ වර්ජන

මුදල් ඇමැතිවරයාගේ අවශ්‍යතාව මත කෙටුම්පත් කළ නව රේගු ආඥ පනත වහා හකුළා නොගතහොත් රේගු නිලධාරීන් අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ දියත් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස්‌ රජයේ රේගු වෘත්තීය සංගමය සහ රේගු ඒකාබද්ධ වෘත්තීය එකමුතුව රජයට අනතුරු අඟවා සිටී. එම සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු වන ඩබ්ලිව්. එම්. ආර්. ටී. විඡේකෝන් මහතා ප්‍රකාශ කළේ දැනට ක්‍රියාත්මක රේගු ආඥපනත බදු ආදායම වැඩි කරන පනතක්‌ බවය. එය මේ වන විට පනස්‌ වතාවක්‌ සංශෝධනය කර ඇති අතර පනස්‌ එක්‌වැනි වරටත් සංශෝධන අවශ්‍ය නම් එසේ සිදුකරනවා විනා නව රේගු ආඥ පනතක අවශ්‍යතාවක්‌ නැතැයි ද විඡේකෝන් මහතා කීවේය.

2016 ජනවාරි 02 දා මුදල් ඇමැතිවරයා විසින් නව රේගු ආඥ පනතක්‌ කෙටුම්පත් කිරීම ආරම්භ කළ අතර ඒ සඳහා රේගුවට කිසිසේත් සම්බන්ධ නැති තිදෙනෙක්‌ යොදාගත් බව ද කී විඡේකෝන් මහතා නව පනත කෙටුම්පත් කිරීම වෙනුවෙන් ඔවුන් තිදෙනාට රුපියල් ලක්‍ෂ අනූවක්‌ ගෙවා ඇතැයි ද කීය.

නව පනත් කෙටුම්පත මගින් ව්‍යාපාර කරන මුදල් අමාත්‍යාංශය බලධාරීන්ට වාසි ලැබෙන පරිදි සකස්‌ කර ඇතැයි කී හෙතෙම එමගින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ බලතල අඩුකර මුදල් ඇමැතිවරයාට බලතල ලබා දී ඇතැයි ද කීය.

ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව ආදී රටවල රේගු පනත්වල කොටස්‌ එකතු කර සාදා ඇති නව රේගු ආඥ පනත මගින් රේගු නිලධාරීන් දංගෙඩියට කැඳවාගෙන යන බව ද විඡේකෝන් මහතා කීවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles