Monday, April 29, 2024

නාමල්ගේ තවත් ගැහිල්ලක් – වටිනාකම කෝටි 45යි

ඇමෙරිකන් ඩොලර් මිලියන 650ක ව්‍යාපෘතියක් සඳහා ඉන්දියානු ක‍්‍රිස් (Krrish Square) සමාගමට කොටුව ට‍්‍රාන්ස්වර්ක් ඉඩම ලබාදීමේ දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා රුපියල් කෝටි 45 ක කොමිස් මුදලක් ලබාගෙන ඇතැයි පොලීසිය අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

 

නාමල් රාජපක්ෂ මහතා සමඟ මෙකී ගනුදෙනුව සඳහා තවත් කෝටිපති ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සහ ප‍්‍රභූ දේශපාලනඥයන් තිදෙනකු සම්බන්ධ වී ඇති බව ද මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළිදරව් වී ඇත.

 

ක‍්‍රිෂ් සමාගම සහ නාගරික සංවර්ධන අධිකාරිය අතර ඇතිකරගත් ගිවිසුම සඳහා නීති උපදෙස් ලබාදීමත් ගිවිසුම කෙටුම්පත් කිරීමත් සිදුකර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් NR Associates නීතිඥ සමාගම විසිනි.

 

අදාළ නීතිඥ සමාගම මේ කටයුත්ත සඳහා යොදාගන්නා ලෙස ක‍්‍රිෂ් සමාගමට දැනුම් දී ඇත්තේ එවකට විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතාය.

 

ව්‍යාපෘතියේ මූලික අවසරය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 (රුපියල් කෝටි 45ක්) ඉන්දියානු ක‍්‍රිෂ් සමාගමෙන් ලබා ගන්නා ලෙස නාලක ගොඩහේවා මහතාට කෙටි පණිවුඩයක් ඔස්සේ Text Message දැනුම් දී ඇත්තේ ද නාමල් රාජපක්ෂ මහතාය.

 

අදාළ මුදල සිංගප්පූරුවේ HSBC බැංකුවේ :

 

ක‍්‍රිෂ් සමාගම විසින් අදාළ මුදල සිංගප්පූරුවේ HSBC බැංකුවේ නාමල් රාජපක්ෂ මහතාට අයත් ගිණුමක තැන්පත් කරනු ලැබ ඇති බවට සැක කෙරේ.

 

2012 වසරේ අත්සන් කළ ගිවිසුමට අනුව නාගරික සංවර්ධන අධිකාරියට ක‍්‍රිෂ් සමාගමෙන් අය විය යුතු රුපියල් මිලියන 450 ක මුදල මෙතෙක් ලබා දී නැතැයි නාගරික සංවර්ධන අධිකාරිය පැවසුවත් ක‍්‍රිෂ් සමාගම සඳහන් කරන්නේ ව්‍යාපෘතියට අදාළ සියලූ මුදල් තමන් විසින් ගෙවා දමා ඇති බවය.

 

මේ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ව්‍යාපෘතිය අක‍්‍රීයව පවතින අතර මේ වන විට ප‍්‍රමාද ගාස්තුව ද සමඟ රුපියල් මිලියන 550 ක මුදලක් නාගරික සංවර්ධන අධිකාරියට ගෙවන ලෙස ක‍්‍රිෂ් සමාගමට දැනුම් දී ඇත.

 

කෙසේ වුවද නාමල් රාජපක්ෂ මහතාගේ දැනුම් දීම මත විනිමය හා සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා විසින් රුපියල් මිලියන 40 ක මුදලක් ක‍්‍රිෂ් සමාගමට නැවත ගෙවන ලද බව ද දැනගන්නට තිබේ.

 

සිංගප්පූරු HSBC බැංකුවේ නාමල් රාජපක්ෂ මහතාට අයත් ගිණුමක ක‍්‍රිෂ් සමාගම රුපියල් මිලියන 450 ක මුදලක් තැන්පත් කිරීමට අදාළ රිසිට් පත සම්බන්ධයෙන් ද ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් වාර්තා විය. ක‍්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

 

(දයා නෙත්තසිංහ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles