Friday, May 3, 2024

නිදහස් මාධ්‍යයේ ඉදිරි ගමන වෙනුවෙන් විශේෂ ක්‍රියාමාර්ග රැසක්

තොරතුරු දැන ගැනීමේ පනතේ ඉදිරි පියවර ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 61 වන සංවත්සර උත්සවය අමතමිනි.

නිදහස් මාධ්‍යයේ ඉදිරි ගමන වෙනුවෙන් විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගැනීමට වත්මන් රජයට හැකිවූ අතර වසර කිහිපයක් තිස්සේ පොදු මහජනතාවගේ මෙන්ම මාධ්‍යවේදීන්ගේ හඬක් බවට පත්ව තිබූ තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කර ගැනීමට ඒ අනුව රජයට හැකිවූ බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

නිදහස් මාධ්‍ය ශක්තිමත් කිරීමට මෙන්ම මාධ්‍යවේදියාට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය, රාජ්‍ය ප්‍රතිපත්තිය අනුවම කැපවී සිටින බව පැවසූ ජනාධිපතිතුමා සදාචාරාත්මක මෙන්ම ගුණයහපත් සමාජයක් රට තුළ ගොඩනැගීමට සිය මාධ්‍ය මෙහෙවර නිසි ලෙස ඉටුකිරීමට  මාධ්‍යවේදීන් කැපවණු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් ශක්තිමත් කිරීමේදී ඊට මාධ්‍යවේදියාගෙන් හිමිවන අනුග්‍රහය සුවිශේෂී වන අතර ඔහු ඒ සියල්ලේ ප්‍රධාන චරිතයක් වන බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දසදෙනකුට සම්මාන හා මුදල් තිළිණ ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ග්‍රන්ථකරණයේ යෙදුණු ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ සාමාජිකයන් විසි දෙනකුට “ලේඛන අභිමන්” සම්මාන තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය. මීට එක්ව සිටි ඉන්දීය ජනමාධ්‍යවේදීන් විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගනු ලැබූ අතර ඔවුන් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය විසින් ද ජනාධිපතිතුමාට විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නි‍යෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ යන මහත්වරු ද, පත්‍රකලා සංගමයේ සභාපති උපාලි අරඹේවෙල, මහලේකම් උපුල් ජානක ජයසිංහ යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ සාමාජිකයන් ද, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles