Saturday, April 27, 2024

පූටින් YouTube වෙත කළ අනතුරැ ඇඟවීම

YouTube ජාලය විසින් රැසියාවේ රාජ්‍ය අනුග්‍රහය ලබන RT හි ජර්මානු භාෂා ප්‍රවෘත්ති නාලිකාව සිය වේදිකාවෙන් ඉවත් කිරීමත් සමග රුසියාව තුළ YouTube ජාලය අවහිර කරන බවට ක්‍රෙම්ලීනය අනතුරු ඇඟවීමක් කර තිබේ.

ගූගල් හි මව් සමාගම වන ඇල්ෆබට් ඉන්කෝපරේෂන් සතු ඔන්ලයින් වීඩියෝ සමාගම වන YouTube ජාලය, RT හි ජර්මානු භාෂා නාලිකාව සිය කොවිඩ්-19 වැරදි තොරතුරු ප්‍රතිපත්තිය උල්ලංඝනය කළ බව පවසමින් අත්හිටුවීම මේ ආරවුළට හේතුවී ඇත.

YouTube ජාලය බදාදා කියා සිටියේ එන්නත්වල නිදන්ගත සෞඛ්‍ය බලපෑම් සම්බන්ධයෙන් හෝ එන්නත්වල අඩංගු ද්‍රව්‍ය පිළිබඳ වැරදි තොරතුරු ඇතුළත් අන්තර්ගතයන් මෙන්ම, කොවිඩ්-19 වසංගතයේ සීමාව ඉක්මවා යන සියලුම එන්නත් විරෝධී අන්තර්ගතයන් අවහිර කරන බවයි.

නමුත් මෙම හදිසි අවහිර කිරීම ගැන කෝප වී සිටින රුසියාව පවසන්නේ, මීට එකට එක කිරීමක් ලෙස ජර්මානු මධ්‍යයෙන්ද පළිගන්නා බවයි. එමෙන්ම, YouTube ජාලය පෙර නොවූ විරූ තොරතුරු ආක්‍රමණයක් සිදුකරන බවටද රුසියාව චෝදනා කරයි.

රුසියානු රාජ්‍ය සන්නිවේදන නියාමකයා වන රොස්කොම්නාඩ්සෝර් කියා සිටියේ තමන් ගූගල් වෙත ලිඛිතව මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි. ඒ අනුව, RT නාලිකාව සඳහා YouTube සීමා ඉවත් කළ යුතු බවත්, එයට අනුකූල වීමට අපොහොසත් වුවහොත් රුසියාව තුළ YouTube වෙත ප්‍රවේශ වීම අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම සීමා කළ හැකි බවට එය තවදුරටත් අනතුරු අඟවා තිබේ.

කෙසේ වෙතත් රොයිටර් පුවත් සේවයට අනුව ගූගල් සමාගම මේ පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles