Thursday, May 2, 2024

“පෝර්ට් සිටි“ නිසා ආණ්ඩුවේ අර්බුද තවත් උග්‍ර අතට

කොළඹ වරාය නගරය නොහොත් පෝර්ට් සිටි ව්‍යාපෘතිය නිසා ආණ්ඩුව තුල පවතින ගැටුම් අවුලෙන් අවුලට යන බව පෙනෙන්නට ඇත. විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා මෙයට පක්ෂව සිටීම සහ අගමැති රනිල් වික්‍රමසිංහ මෙයට විරෝධී මතයක සිටීමෙන් ආණ්ඩුව තුලම පෝර්ට් සිටි විෂබීජයක් බවට පත්ව ඇත.

කොළඹ වරායේ දියකඩනය සහ ගාලු මුවදොර පිටිය දෙසට වන නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ අක්කර 575ක පමණ ප්‍රමාණයක් ගොඩකරමින් ඉදිකරන මෙම ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ චීනයේ ව්‍යාප්තවාදී සංවර්ධන උපායමාර්ගයක් ලෙස ඉදිරිපත්වූවක් වන අතර සී/ස චයින් කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද්දකි.

කොමිස් කුට්ටි

මෙම ව්‍යාපෘතිය සඳහා අදාල චීන සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 1337 ක් වැය කිරීමට අපේක්ෂිත අතර, ඔවුන් ප්‍රතිලාභ ලබන්නේ මෙම නගරයේ විකිණිය හැකි ඉඩම් ප්‍රමාණයෙන් සියයට හැටක ප්‍රමාණයක් චීන සමාගමට පවරා ගැනීමෙන් බවට ඔවුන් යෝජනා කර ඇත.  පරිසර සංවිධාන සහ පරිසරවේදීන්නේ දැඩි විරෝධයක් දැක්වූවත්  චීනයෙන් ලැබෙන දැවැන්ත කොමිස් මුදල් සම්භාරය නිසා රාජපක්ෂ රජය මෙයට එකඟවිය.

පරිසරය ඉවරයි

ගාලු මුවදොර අසල වෙරළ පරිසර පද්ධතිය දැඩි අනතුරකට හෙලමින් සහ දැඩි ලෙස මුහුදු ඛාදනය පවතින ප්‍රදේශයක් වන මෙම සීමාව පිළිබඳවද කිසිඳු සැලකිල්ලක් නොදක්වමින් මෙන්ම විදේශිකයන්ට මෙරට ඉඩක් විකිණීමට නොහැකි ලෙස පවතින ඉඩම් නීතියද තඹ සතයකට මායිම් නොකරමින් මහින්ද රාජපක්ෂ රජය මෙම පෝර්ට් සිටි ව්‍යාපෘතිය ඇරඹීම පසුගිය ජනපතිවරනයේදී ඔහුටම දැඩි අවාසි සහගත තත්වයක් විය. විපක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ සටන් පාඨ අතර ප්‍රමුඛ සටන් පාඨයක් වූයේ මෙම ව්‍යාපෘතිය නවතා දමන බවයි.

දකුණු ආසියාවටම බලපෑම්

දකුණු ආසියාවේ ප්‍රබලතම රාජ්‍යවන ඉන්දියාවට එරෙහිව චීනය දකුණු ආසියාව තුල සිදුකරන භූගෝලීයමය ආක්‍රමණය කොළඹ නගරය වැනි දකුණු ආසියාවේ බල මර්මස්ථානයක පෝර්ට් සිටි වැනි චීන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වීම පිළිබද ඉන්දියාව දක්වන්නේද දැඩි විරෝධයකි. ඉන්දියාව සහ අමරිකාව ඒකාබද්ධ දේශපාලනික මතදරණ බැවින් ඇමරිකාවද පෝර්ට් සිටි ව්‍යාපෘතියට දැඩි ප්‍රතිරෝධයක් දක්වති. රජයේ පාර්ශවය වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මංගල සමරවීර වැනි පාර්ශව දැඩි ලෙස පෝර්ට් සිටි විරෝධි මතයක කටයුතු කරමින් සිටියි.

ආණ්ඩුව ඇතුලේ අවුල

නව ජනපතිවරයා පත්වීමෙන් අනතුරුව පෝර්ට් සිටි ව්‍යාපෘතිය තාවකාලිකව නතර කරනු ලැබූවත් එයින් කිපුණු චීන රජය ලංකාවට ලබාදෙන සියළුම ආධාර නවතා දමන ලදි. මේ හේතුවෙන් චීනය මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැඩි බලපෑමක් එල්ලකරන බවද පෙනෙන්නට ඇත. මේ හේතුව නිසා පෝර්ට් සිටි ව්‍යපෘතිය යහපාලන ආණ්ඩුවේ සම්මුතිවාදයට මරු පහරක් බවට පත්ව ඇත.

ජනරඟ දේවසුරේන්ද්‍ර

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles