Monday, April 29, 2024

බැසිල් කෙරවලපිටිය බලාගාරය ඇමරිකාවට දෙන්න තීන්දුව අරන්

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලයටත් කොළේ වහමින් කෙරවළපිටිය බලාගාරය ඇමරිකාවට පවරාදීමේ අවසන් තීන්දුව ගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක හෙළිදරව් කළේය.

කැබිනට් පත්‍රිකාවක් හෝ නොමැතිව ලංකාවේ පළමු වන වතාවට මෙවැනි තීන්දුවක් ගෙන තිබෙන බවත් රටට ජනතාවට පමණක් නොව කැබිනට් මණ්ඩලයටත් හංගා මෙලෙස තීන්දු ගැනීමට ඉඩ නොතැබිය යුතු බවත් ජවිපෙ නායකයා අවධාරණය කළේය.

ඒ අනුව, පසුගිය දා කැබිනට් මණ්ඩලය සූම් ඔස්සේ කැඳවූ අවස්ථාවේ ඊට පෙර ලබානොදුන් කැබිනට් පත්‍රිකාවක් ඊට පෙර අවස්ථාවේදී හෝ පත්‍රිකාවක් ලෙසින් හෝ ලබානොදී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ වාචිකව ඉදිරිපත් කළ කරුණු අනුව කෙරවළපිටිය බලාගාරයෙන් 40%ක් සහ ගෑස් ගෙන එන නළ පද්ධතියත් ගෑස් ගබඩා කරන ටර්මිනල් බලාගාරයත් ඇමරිකානු සමාගමකට විකිණීමට තීරණය කර තිබෙන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

විකිණීමේ කොන්දේසි, මිල ගණන්, අස්සන් කරන ගිවිසුම ආදී සියලු දේ පිළිබඳ අධිකාරි බලයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලබාදී තිබෙන අතර ආර්ථික ගැටලු, කොවිඩ් ව්‍යසනය සම්බන්ධයෙන් උත්තර ජනතාව අපේක්ෂා කරන මේ මොහොතේදී ඇමරිකානු සමාගමකට කෙරවළපිටිය බලාගාරය පවරාදීමේ අවසන් තීන්දුව ගෙන තිබෙන බවත් අඩු තරමින් ඒ පිළිබඳව ඇමතිවරුන්ට හෝ කිසිදු අදහසක් ඉදිරිපත් කිරීමට ඉඩ නොදී එම පත්‍රිකාව සම්මත කළ බව කාර්ය සටහන්වල සඳහන් කර තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වුව ද පසුගිය 6 වන දා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධව සූම් මගින් වාචිකව ඉදිරිපත් කර කෙරවළපිටිය බලාගාරයේ අයිතිය ඇමරිකානු සමාගමකට ලබාදීමට ගත් තීන්දුව වහා ම හකුළා ගත යුතු බව ඒ මහතා අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, කැබිනට් මණ්ඩලයට හෝ ජනතාවට හෝ ඉදිරිපත් කිරීමට නොහැකි නම් හෝ විවෘත සාකච්ඡාවක් ලෙස කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ඉදිරිපත් කිරීමට නොහැකි නම් ඒ හැමදේකින් ම කියැවෙන්නේ, මේ ක්‍රියාවලිය තුළ තිබෙන්නේ හොරකම බවත් කෙරවළපිටිය බලාගාරය වරාය ඉඩම් රටේ පෞරාණික දේපළ විකිණීම සඳහා රාජපක්ෂ කොන්ත්‍රාත්කරුවන් දරන ප්‍රයත්නය පරාජය කළ යුතු බවත්ය. දිසානායක මහතා මේ බව පැවැසුවේ ඊයේ (සැප්. 12) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

අනුරාධා හේරත්

මව්බිම

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles