Sunday, May 19, 2024

මහින්ද රාජපක්ෂගේ සහ කුමාර් ගුණරත්නම්ගේ උපන් දිනය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අනුරාධපුරයේදී තමන්ගේ හැත්තෑ වැනි ජන්ම දිනය සමරනු ඇත. ඒකාබද්ධ විපක්ෂය ලෙස විශේෂ ආගමික වැඩසටහන් පවත්වා එය මහ ඉහලින් සමරන්නට කටයුතු යොදා ඇත. රාජපක්ෂලා පරාජයට පත්වූවත් උපන් දින කේක් වලින් නම් අඩුවක් නැත. සැලකූ මෙන්ම සලකන්නටද හැකි අය බොහෝ බැවින් රාජපක්ෂලාට ඒවායේ අඩුවක් නැත.

මාතර පාලටුවේ උපන් මහින්දට තමන්ගේ හැත්තෑවැනි උපන් දිනය සමරන්නට වී ඇත්තේ උසාවිය පේන මානයේ සිට වීම දෛවෝපගත සිදුවීමකි. මෙරට විධායක ජනාධිපතිත්තවයේ බලයේ හිණිපෙත්තේ සිටි මහින්දට ඒ පාමුල ඇද වැටෙන්නට මෙන්ම රාජ්‍ය ආයතනවලට මුදල්මය පාඩු සිදුකිරීම යටතේ අධිකරණයටද එන්නට සිදුව ඇත. එහෙත් අද කැට දමා කිව හැකි කරුණ නම් මහින්ද උසාවි ආවොත් සිදුවන්නේ තවත් “හිට් වීමය“. ඒ මහින්දගේ ලක් එකය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක සහ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ තිරය පිටුපස නායක කුමාර් ගුණරත්නම් අද වැලිකඩ බන්ධනාගාරයේ සිට තමන්ගේ පනස් වැනි ජන්ම දිනය සමරනු ඇත. ඒ වෙනුවෙන් උපන්දින සාද පවත්වන්නට පෙරටුගාමීන්ට නොහැකිව ඇති අතර ඒ වෙනුවට විරෝධතා පවත්වමින් කුමාර් ගුණරත්නම්ට දේශපාලන සහ පුරවැසි අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා වත්මන් රජයටද බලකරන්නට සිදුව ඇත. කුමාර්ලාට කේක් නැත, කේක් තියා පාන්ද නැති තත්ත්වයක් උදාව ඇත.

කෑගල්ලේ උපන් කුමාර්ට බන්ධනාගාරයේ සිට උපන්දිනය සමරන්නට වන්නේ තමන්ගේ වීසා කාලය ඉක්මවා ලංකාවේ රැඳීසිට දේශපාලනය කිරීම නිසාය. ආණ්ඩුවලට, සමහර පක්ෂ වලට කුමාර් ගුණරත්නම් ප්‍රශ්නයක්ව ඇති නිසා හෙතෙම කූඩුව ඇතුලේ ඉන්නතාක් හිතට හොඳය. සරත් ෆොන්සේකා සිරගතව සිටියදී පාරක් පාරක් ගානේ උද්ඝෝෂණ කරමින් ඔහු නිදහස් කරගන්නට දතකෑ එකෙක්වත් අද කුමාර් ගුණරත්නම් නිදහස් කරගන්නට කටින් එක කෙළ බිඳක් හලන්නේ නැත. ඒ දේශපාලනික කුහකකම සහ ඩීල්ය. අපිට කුමාර් ගුණරත්නම් සමග කිසිඳු දේශපාලනික සබඳතාවක් නැති නමුත් දේශපාලනය කරන්නට උණක් ඇති එකෙක්ට ඒ සඳහා අයිතිය ලබාදිය යුතු බව ඉහලින්ම පිළිගන්නෙමු. ඒ මන්දයත් අද කුමාර්ගේ දේශපාලන අයිතිය අහිමිකලහොත් හෙට අපටද එසේම කලහැකි බවට සාධාරණ සැකයක් පවතින නිසා මෙන්ම එවැනි පහත් පෙලේ වැඩවලට තරයේම විරුද්ධ නිසාය.

මහින්ද රාජපක්ෂ චරිතය තුලින් තවමත් දේශපාලනික වශයෙන් ගොඩයන්නට ලොකු, පොඩි බොහෝ දෙනෙක් බලා සිටිති. තවමත් දේශපාලනයේ විශ්‍රාම සුව අපේක්ෂා නොකරන මහින්ද කිසිවෙකු හෝ කාල්ටන් තාප්පය උඩට නොනගිද්දී පවා තවමත් දේශපාලනයේ පාළම් තනන්නට යාම ඉතා ඛේදජනකය. මහින්ද අදවත් ඉදිරිපෙලකට ඉඩ දෙනවානම් එය මෙරට දේශපාලනයේ ඉදිරි අනාගතයට බෙහෙවින් වැදගත්ය.

රාජපක්ෂ පාලන සමයේ කුමාර් ගුණරත්නම්ට බැට වදින්නේ කුමාර්ව පැහැරගෙන රටින් පන්නා දැමීම දක්වා දීර්ඝවූ ක්‍රියාවලියක් සමගය. එයට ජනතා විමුක්ති පෙරමුණ ආවැඩූ බවට ගෝඨාභය කියද්දි ජ.වි.පෙ එය අමූලික බොරුබව කියන්නට විය. දැන් ඒවායෙන් වැඩක් නැත. මහින්ද රාජපක්ෂ මෙන්ම කුමාර් ගුණරත්නම්ද සිටින්නේ අසීරු අඩියකය. මහින්ද රාජපක්ෂට බලය නැත දේශපාලන අයිතිය ඇත. කුමාර් ගුණරත්නම්ට දේශපාලනිකව පිරිස් බලය ඇත දේශපාලන අයිතිය නැත.  එහෙයින් බලන කල්හි දෙදෙනාම සිටින්නේ අන්ත දෙකක වුවත් එකම වාතාවරණයකය.

කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන අනාගතය තීරණය කිරීම වත්මන් ජනපතිවරයාගේ අතට පත්වීම තුලින් ඉවසිය යුතු මට්ටමකට පත්ව ඇත. දේශපාලන අයිතිය ඉල්ලා පාරට බසින්නට වීම නව දේශපාලනික ලෝකයට අරුම සිදුවීමක්ය. ගම්බිම්වල,වතුපිටිවල ජීවත්වන ජනතාවට කුමාර්ගේ ප්‍රශ්නය මැජික් එකක් වන්නේ අන්න එතනින්ය. කුමාර් ගුණරත්නම් හිරේ ගියේ ඇයි සහ පෙරටුගාමීන් ඉල්ලන දේශපාලන අයිතිය යනු කුමක්ද කියා ඒ මිනිස්සුන්ට නිච්චියක් නැත.

මහින්ද රාජපක්ෂ ආයෙත් දේශපාලනය කරන්නේ අයිද කියා ගම්බිම්වල, වතුපිිටිවල මිනිස්සුන්ට නිච්චියක් නැත. වසර දහයක් ජනාධිපති පදවිය දරා,කරන්නට පුළුවන් හැමදේමත් කරගෙන, අගමැති පොරයෙන් පවා පරාජයට පත්වී ආයෙත් දේශපාලනයේ මොනවා කරන්නට එනවාද කියා පොඩි පරහක් මිනිස්සුන්ට ඇතිබව නිසැකය. කුමාර්ලා දේශපාලන අයිතිය ඉල්ලන්නේ රැකෙන්නට නොව, එහෙත් රාජපක්ෂලා නැවත දේශපාලනයට පිවිස බලය සොයන්නේනම් රැකෙන්නට මෙන්ම පෙරසේම සහචරයන් රකින්නට බවනම් ස්ථීරය.

ජනරඟ දේවසුරේන්ද්‍ර

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles