Friday, April 26, 2024

මේ ඇමති මණ්ඩලය නීත්‍යනුකූලද? – විරෝධතාවන්ට කල්දෙයි

වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඉදිරිපත්කර තිබෙන වාර්තා දෙකකට අදාළව විරෝධතා ඉදිරිපත්කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) පෙත්සම්කාර පාර්ශ්වයට කල් ලබාදී තිබේ.

ජනාධිපතිවරයා විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලය පත්කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත්, ඒබැවින් එහි ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට මෙම කල් ලබා දීම සිදුකර තිබේ.

මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය.

එහිදී අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මිය අධිකරණයට දන්වා සිටියේ වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය පිළිබඳ වාර්තා දෙකක් තමන් විසින් අධිකරණය හමුවේ ගොනුකර ඇති බවයි.

එම වාර්තා සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඉදිරිපත්කිරීම සඳහා තමන්ට දින ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ දර්ශන වේරදුවගේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම වාර්තාවලට අදාළ සීමිත විරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි මස 11 වනදා ට පෙර ගොනුකරන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට නියම කළේය.

අනතුරුව පෙත්සම සලකා බැලීම මාර්තු මස 23 වනදා සිදුකිරීමටත් අධිකරණය දින නියම කළේය.

වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, සියලුම රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු 82 දෙනෙකු නම්කර තිබේ.

නීතිඥ දර්ශන වේරදුවගේ මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය අමාත්‍යවරු පත් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (1) (අ) සහ(ආ) ව්‍යවස්ථාවට පටහැනි බවය.

එම ව්‍යවස්ථාව මගින් පනවා තිබෙන සීමාවන් ඉක්මවා කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු ජනාධිපතිවරයා විසින් වැඩිපුර පත්කර ඇතැයි චෝදනා කරන පෙත්සම්කරු එම පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව කියා සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles