Saturday, April 27, 2024

යහපාලනයේ අනුහසින් මහපාරට වැටුණු තොටලඟ මිනිස්සු..

පෑලියගොඩ හන්දියේ සිට තොටලඟ දක්වාම පොලීසිය මග දෙපස රැස්ව සිටියි. රාජ්‍ය නායකයෙක් පිළිගැනීමටත් වඩා පොලිස් බලඇණි මේ ආසන්නයේ ජනතාව දකින්නේ බොහොම කාලයකට පසුව වන්නට ඇත. ජපන්-ලංකා මිත‍්‍රත්ව පාලම පැත්තේ තිබෙන්නේ දැඩි නිශ්චලතාවකි. මහා වරුසාවකින් පසුව දැනෙන ගුප්ත හැගීම හාත්පස වෙලා ඇතිබව අපට දැනෙන්නට විය. පාලම යටින් දිවෙන මාර්ගය ෆර්ගියුසන් පාරයි, කුණුගොඩවල් සහ අවිධිමත් නිවාස මැදින් දිවෙන ඒ පාර අප ගෙනයන්නේ සුරපුරයකට නොවන බව අපිට පැහැදිළිවිය. ඒ පාරේ පටන්ගන්න තැනම සිටි මැදිවියේ කාන්තාවක් අපේ ගමන් මගට අතින් සංඥාකර බාධාකරන ලදි.

’මහත්තයලා පත්තරේකින්ද? එහෙනම් මහත්තයෝ පරිස්සමින් යන්න ගෙවල් කඩපු පැත්තට යනවනම්. මිනිස්සු හොඳටම කුලප්පු වෙලා ඉන්නේ’

ලද කාරුණික අවවාදයෙන් හිත පසුපසට අදිනු ලැබූවත් චේතනාව හොඳබැවින් ගමන ආපස්සට හරවන්නට අපි සූදානම් නොවුණි. ෆර්ගියුසන් පාරේ මීටර් දෙසීයක් පමණ දුරට යනවිට මාධ්‍ය ආයතන ගණනාවකින් පැමිණි වාහන නතරකර තිබුණි. වම්පැත්තේ තිබුණේ ඉඩමක් මැද සුන්බුන් ගොඩක් පමණි.තවමත් දුහුවිලි ඇවිස්සෙන සුන්බුන් අතරේ මිනිසුන් කල්ලි කල්ලි තැන තැන එක්රැස්වී සිටියේ අවිනිශ්චිතතාව පෙරදැරිකරගෙනමය. අප සිටියේ අන්කවර හෝ තැනක නොව අනවසර ඉදිකිරීම් ලෙස නම්කර යකඩ අලියාගේ කුල්ලෙන් හිත්පිත් නැති බලධාරීන්ගේ අණින් මහ මගට ඇද දැමූ පවුල් ගණනක සිය ගණනක් මිනිසුන් ජීවත්වන තොටළඟ කජිමාවත්ත ප‍්‍රදේශයේය. ඇදිවත පමණක් ඉතිරිකර මහ මගට ඇදදැමූ මිනිස්සුන්ගේ කතාව අහන්නට අපට එතනට යායුතුව තිබුණි.

IMG_9546 නාගරික සංවර්ධන අධිකාරියේ බැකෝ යන්ත‍්‍ර සහ ට‍්‍රැක්ටර් තවමත් මාර්ගය දෙපස නවත්වා ඇත. අක්කර දෙකකට ආසන්න ඉඩම පුරා විසිරී ඇත්තේ නිවාස සුන්බුන්ය. ඒත් ඒ සත්මහල් ප‍්‍රාසාදයන්හි සුන්බුන් නොව, යන්තම් අටවාගෙන සිටි ලෑලි ගෙවල් සහ පැල්කොටවල සුන්බුන්ය. ඒ සුන්බුන් ඉදිරිපිට වාඩිවී දෙනෙතේ කඳුළු පුරවාගෙන දරු පැටවුන්ද වඩාගෙන සිටින්නේ මේ ගිනිපෙට්ටි තරම් නිවාසවල දිවිගෙවූ මිනිසුන්ය. සිංහල,දෙමළ,මුස්ලිම් භේදයක් නැතිව අද ඔවුන් සියළුදෙනාම මහමගට වැටී ඇත. ගෙවල් 26 ක් හැරෙන්නට අනිකුත් සියළුම ගෙවල් කඩා බිඳදමා ඇත. විශාලා මහනුවරක් සේ සුන්බුන් සහ මිනිසුන්ගේ සෝ ලතෝනි මැද අපි ගෙවල් පේලි තිබුණු තැන් සොයා යන්නට විය.

බාගෙට කඩා දැමූ ගෙයක් ඉදිරිපිට බිම ඇණ තියාගෙන සුසුම් හෙලමින් සිටියේ කොළඹ කොටුවේ කුලීවැඩ කරමින් බඩවියත රැකගන්නා මෝගන් බාබු ය. දෑස්වල කඳුළු තදකරගෙන තමන්ට සහ දරුපවුලට උන්හිටිතැන් නැතිවුණ හැටි කියන්නට ඔහු වචන ගැලපීය.

’මහත්තයෝ අපි මෙතනට ආවේ මීට මාස දෙකහමාරකට කලින්. මේ ලෑලි ගේ අටවගන්නත් අපිට ගොඩක් වියදම් කරන්න වුණා. කලින් හිටියේ මීට එහා වත්තේ කුලී ගේක. ඒ ගෙදර අයිතිකාරයන්ට මහල් නිවාසේ ගෙවල් ලැබුණා. අපි කුලියට හිටපු ගෙවල් කඩලා දැම්මම අපිට යන්න එන්න තැනක් නැතිවුණා. අපිට ඉඩකඩම් තිබ්බේ නෑ මහත්තයෝ..මගේ අම්මටයි තාත්තටයි ප්ලැට් එකේ ගෙයක් තියනවා. ඒත් මගේ දරු පවුලටයි ගෑණිටයි එතන ඉන්න ඉඩක් නෑ. මගේ දරුවෝ දෙන්නම ඉපදුනේ කුලී ගෙදරදි. පාරට වැටුණ අපි මෙතන හිස් ඉඩමේ ගෙයක් හදාගත්තා. ඒක අනවසර ඇති මහත්තයෝ..ඒත් මෙහෙම එකපාරටම උඩින් පාත්වෙන්න වගේ ඇවිත් අපේ ගෙවල් කඩලා දානකොට අපි කොහේට යන්නද මහත්තයෝ’

කලින් දවසේ මහ පාරේ උද්ඝෝෂණය කරමින් තමන් මහපාරට ඇද දාන්නට එපා යැයි බලධාරීන්ට කෑගසා කියා මෝගන් බාබුලාගේ උගුරු ලේ රහවී ඇත. ඔහු කියන වචන පවා නොතේරෙන තරමට කායිකව දුර්වලවී ඇත, හිතේ තිබෙන ගින්දර ඊටත් වඩා බරපතල බව අපට දැනෙන්නට විය.

’සති දෙකකට කලින් ඇවිත් අංක දාලා ගියා. අපි ඇයි එහෙම කරන්නේ කියලා ඇහුවම ඒ මහත්තයා කිව්වේ සමීක්ෂණයකට කියලා. පස්සේ ඊයේ උසාවි නියෝගයක් අරගෙන ඇවිත් අපේ ගෙවල් ඉවත් කරන්න  ඕන කිව්වා.බාධාකලොත් පොලීසියට අරගෙන යනවා කියලා. ඒත් අපේ ගෙවල් කඩද්දි පැත්තට වෙලා ඉන්න බැරිව කෑගහපු අපිට පොලීසියෙන් ගැහුවා අපි කොහේටද මහත්තයෝ යන්නේ. මහපාරේ නිදාගන්නවා ඇරෙන්න අපිට වෙන සරණක් නෑ.’

මෝගන් බාබුගේ බිරිඳ දරුවාද කිහිල්ලේ ගසාගෙන නළලේ අතගසාගෙන කෑගසන්නේ මාධ්‍යයට පෙනෙන ර`ගපෑමකට නොවන බව අගේ කඳුළු සාක්ෂි දැරීය. මොහොතකින් තවත් බොහෝ දෙනෙක් අප වටකරගෙන තමන්ට සිද්ධවුණු අසාධාරණයේ කතාව අප ඉදිරියේ දිගහරින්නට විය. ඒ බොහෝ දෙනෙක්ට තිබුණේ ඇඳිවත පමණි, හිතේ ගින්දර වෙනුවෙන් ඇස්දෙකේ කඳුළු වැල් ගලද්දී ඔවුන් දෑත් ඉහළට ඔසවමින් අසාධාරණය කියන්නට පටන් ගත්හ.

IMG_9614’අපිට යන්න තැනක් තාවකාලිකව හදලා දීලා හරි මේක කඩලා දැම්මනම් කමක් නෑ මහත්තයෝ. ඒත් මේවා කඩලා දැම්මේ නරුම විදිහට. අපිට ප්ලැට්වල ගෙවල් තියෙනවා කියලා නාගරික සංවර්ධන අධිකාරිය කියනවා. එහෙම තියෙනවනම් මෙහෙම පාරවල් ගානේ දුක් විඳින්න  ඕනද. සල්ලි බලේ තියන මිනිස්සුන්ට මෙහෙම පාර්ට් දාන්න කවුරුවත් නෑ, පොඩි මිනිහගේ සැනසිල්ල නැති කරන්න තමයි කවුරුත් දඟලන්නේ. මම මෙතනින් හෙල්ලෙන්නේ නෑ මහත්තයෝ. මේ ගේ කඩන්න වෙන්නේ මගේ මළමිනිය උඩින් ගිහින් තමයි’

තමන්ගේ ගෙලෙහි රැඳුණු නූල් පොටවල්  වෙවුලද්දී නළලේ තබා තිබූ රත්පැහැ තිලකය උඩින් අත්දෙකම ගසාගෙන එලෙස සපථ කලේ කල්පනී මධුවන්තිය. ඇයගේ එක් දරුවෙක්ට අතක් අහිමිය. දරුවන් දෙදෙනෙකුගේ බර කරටගෙන ඇයට දැන් මහමගට බසින්නට සිදුව ඇත. අතක් අහිමි පුංචි දරුවා අම්මාගේ කඳුළු දෙස බලාසිටින්නේ කියාගන්නට බැරි හැඟුම් හිතේ තදකරගෙනය.

’අපි මේ ඇමතිලා වෙනුවෙන් වෙඩි පාරවල් කාගෙන කැන්වසින් ගියා. ඡන්දේ කාලෙට මේ හැම ගුබ්බෑයම අස්සෙම ආයුබෝවන් කියාගෙන රිංගනවා, ඒත් අද අපේ ගෙවල් කැඩිලා පාරට වැටෙද්දි ඒ ඇමතිලාවත්, උන්ගේ ගෝලයෝවත් පලාතේ එන්නේ නෑ. දැන් මේ අපේ ගෙවල්වලට දීපු වතුර ලයින් එකත් නවත්තලා. අපිට බොන්න වතුර තියද කියලවත් බලන්න එකෙක්වත් ආවේ නෑ’

ඉතා ආවේගශීලීව පවතින දේශපාලනයේ අන්ත නින්දිත ප‍්‍රතිපදාවන් විවේචනය කලේ තොටලඟ ඉඳහිට කුලීවැඩද, නැතිනම් පෑලියගොඩ මාළු මුදලාලිලාට අත්උදව් දෙන මනෝජ්ය. තවමත් තරුණ විය ඉක්මවා නැති මනෝජ් ඉල්ලා සිටින්නේ තමන්ට පමණක් සාධාරණයක් කරන්නට කියා නොව, පොදුවේ අසාධාරණයට ලක්වූ හැමටම සාධාරණයක් කරන්න කියාය.

’ඊයේ පොලීසියෙන් ගහලා අමාරුවුණා මේ වත්තේ දරුවෙක් හම්බවෙන්න ඉන්න ගෑණු ළමයෙක්ට. අන්න අතනයි එයාගේ ගෙදර තිබුණේ..’

අපි ඇයව සොයාගියද අසනීප තත්ත්වය උග‍්‍රවී සිටි ඇයට කතාකරන්නට අපිට ඉඩක් නොලැබුණි. බඩදරු අම්මලාගේ ඇඟට අත තබන්නට තරම් නිළඇඳුම් ඇදගත් මහත්වරු, නෝනාවරු කෲරවූයේ කෙසේද යන්න අපිට ගැටළුවක් වූයේ දෙවරක් නොසිතාමය.

IMG_9572

ඒ අතරේ වත්ත මැදින් මහා කාලගෝට්ටියක හඬ ඇසෙන්නට විය. තැන් තැන්වල කල්ලි ගැසී සිටි මිනිස්සු වත්ත මැදට එකතුවන්නට විය. ඒ මොහොතේ නාගරික සංවර්ධන නිලධාරීන් පැමිණ කඩාදැමූ නිවාස සහ ඒවායේ සිටි මිනිසුන් ගැන සමීක්ෂණයක් කරමින් සිටියහ. වත්ත මැද මේසයක් තබාගත් ඒ නිලධාරීන් මිනිස්සුන්ට පොලීමේ එනලෙස එතනට පැමිණ සිටි ග‍්‍රෑන්ඞ්පාස් පොලීසියේ නිලධාරීන් හරහා දැනුම් දුන්හ.

මේක පුදුම වැඩක්නේ. මෙතන ඉන්නේ වැඩි හරියක් මේ වත්ත පළාතක පස්පාගපු එවුන් නෙවෙයිනේ’

ඒ කතාවේ දිග පළල දැනගන්නට ඒ කතාව කියූ තැනැත්තා පැත්තකට එක්කගෙන යන්නට අපිට සිදුවිය.ඒත් බොහෝ සෙයින් කතාකරන්නට අදිමදි කලත් අවසානයේ සියළුම දේ අප ඉදිරියේ දිගහරින්නට විය.

’මගේ නම පත්තරේ දාන්න එපා ඇත්තම කතාව මේයි මහත්තයෝ දැන් අර මහත්තුරු ඉස්සරහ පෝලිම් ගැහිලා ඉන්න එවුන්ගෙන් වැඩිහරියක් මේ වත්තේ අය නෙවෙයි. එතන ඉන්න ගොඩක් අයට ප්ලැට් එකේ ගෙවල් තියනවා. දැන් මෙතනට ඇවිත් ගෙවල් කැඩුවා කියලා පෝලිමේ ඉන්නේ තවත් ගෙයක් දෙයි කියලා බලාගෙනයි. ඒ විතරක් නෙවෙයි මේ වත්තෙත් ගෙවල් අටවගෙන ඉන්නවා ප්ලැට් එකේ ගෙවල් තියන අය  ඕන තරම්. ප්ලැට් එකේ ගෙවල් කුලියට දීලා මෙතන ලෑලි ගෙවල් හදාගෙන ජීවත් වෙනවා.  දැන් අර මහත්තුරු ඉස්සරහට ගිහින් නහයෙන් අඬනවා ගෙවල් නෑ කිය කිය. ඒ කාලකණ්ණි වැඩෙන් වෙන්නේ මහත්තයෝ ඇත්තටම ගෙවල් නැති උන්ට ඉන්න හිටින්න තැනක් ලැබෙන එක නැතිවෙන එකයි’

තොටලඟ අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ සිද්ධියේ මෙතෙක් ඇස නොගැසුණු වෙනත් පැත්තට කතාව ඇදී යන්නට වුනේ ඒ ප‍්‍රකාශයත් එක්කමයි. බොරදියේ මාළු බාන මිනිස්සු හැමතැනම. එක අහිංසක පවුලක් පාරට වැටෙද්දි තමන්ගේ මඩිය තරකරගන්න දඟලන මිනිස්සු රටේ හැමතැනකම ඉන්නවා වගේ මේ වත්ත මැද නොඉඳීවි කියලා සහතික වෙන්න කාටවත් බෑ.

මේ අතරේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමික්ෂණේ කරන විදිහ වැරදියි කියලා මිනිස්සුන්ගෙන් දැඩි විරෝධයක් ආවා. ඒකත් එක්ක මිනිස්සු ආයෙත් පාරට ගිහින් වාඩිවෙලා උද්ඝෝෂණය කරමු කියන එක`ගතාවයකට එන්න හදනවා කියන එක අපිටත් පේන්න ගත්තා. ඒ අතරේ අයන්ති නම්වූ එක් කාන්තාවක් පිරිස මෙහෙයවමින් ඔවුන් දැඩිලෙස පාලනය කරමින් සිටින බවක් පෙනෙන්නට තිබුණා. ඇය අප ඉදිරිපිටට ඇවිත් එසේ මැදිහත්වෙන්නට හේතුව සඳහන් කලා.

’මෙහෙම සමීක්ෂණ කරලා ගෙවල් දෙන්න ගියොත් ඇත්තටම ගෙවල් කැඩුණු මිනිස්සුන්ට ගෙවල් ලැබෙන එකක් නෑ. මමනම් කියන්නේ මේ නිලධාරී මහත්තුරු කැඩුණු ගෙවල් ලඟට ගිහින් ඒ මිනිස්සු එක්ක කතාකරලා තොරතුරු ගන්න  ඕන. මම මේ වත්තේ ගෑණියෙක් නෙවෙයි. ඒත් මම මේ වත්තට ගොඩක් හිතවත්, ඒකයි මේ මිනිස්සු එක්ක මම ඊයේ දවසෙම මහපාරේ වාඩිවුණේ. පොලීසියේ මහත්තුරු එකඟවුණා හරි සමීක්ෂණයක් කරලා තොරතුරු අරගෙන විසඳුමක් දෙනවා කියලා. ඒ වචනේ විශ්වාස කරලයි අපි පාරෙන් නැගිට්ටේ. අර වඩාගෙන ඉන්න කිරිසප්පයා මහපාර මැද තියාගෙනයි මේ ගෑණු මිනිස්සු තමන්ව මහපාරට ඇදලා දාන එකට විරුද්ධව කෑගැහුවේ. මේ දුප්පත් මිනිස්සුන්ට අසාධාරණයක් වෙන්න දෙන්න එපා මහත්තයෝ’

කැළණි ගංගාධාරයට ඉතා ආසන්න මේ බිම්කඩ පුරාවට ඇති බොහොමයක් ඉදිකිරීම් තිබෙන්නේ එක්කෝ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්වලය, නැත්නම් ගඟ අසල වගුරුබිම්වලය. මේ පැල්පත් නිවාසවල ජීවත්වෙන බොහොමයක් ජනතාවගේ ජීවන මාර්ගය වන්නේ කුලී වැඩ හෝ ඒ හා සමාන දේවල්ය. ඒ අතර විවිධ නීතිවිරෝධී දේවල් පිළිබඳවද විවිධ ආරංචි ලැබෙන්නට විය. වත්තෙන් පිට මිනිස්සු චෝදනා කරන්නේද ඒ කරුණ අල්ලාගෙනය. එනම් මේ ගෙවල් කඩනවාට විරුද්ධ මේවා ඇතුලේ විවිධ නීතිවිරෝධි බිස්නස් සිද්ධවෙන නිසා කියල. ඒත් ගෙවල් අහිමිවෙලා පාරට වැටුණු මිනිස්සු ඒකටත් උත්තර දුන්නා.

’අපිට කුඩු ගංජා විකුණගෙන ජීවත්වෙන්න  ඕනවුනානම් මෙහෙම පැල්කොටවල ජීවත්වෙන්නේ නෑ මහත්තයෝ. ඇරත් එහෙම සල්ලියක් තිබුණනම් දරුපැටවු එක්ක මහ දවල් ? කියලා බලන්නේ නැතිව පාරේ වාඩිවෙන්නේ නෑ’

මිනිස්සු පැති ගණනාවකින් අසරණය. ඒ අතර ගෙවල් ජාවාරම්කාරයන්ද පෙලගැසී ඇත. සුන්බුන් ගෙවල් මැද තමන්ගේ නැතිවුණු බෝනික්කා සොයන දරුවෙක්ට අවසානයේ ඉතිරිවුණේ හිස්දෑතත් කඳුළු බින්ඳු පේලිත් පමණි. රටේ එක් පන්තියක් අධි සුඛෝපභෝගී ජීවිත ගතකරද්දී ඔවුන්ගේ සැපවත් ජීවිතවලටත් උරදෙන තවත් පීඩිත පන්තියක් තමන්ගේ බිම් අඟලක් නැතිව මහපාරට වැටී ඇත. ඔවුන් අපෙන් ඉල්ලන්නේ සාධාරණයක් කරන්නට කියාය. ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ පාලන බලය හෝ මහා මන්දිර නොවේ, දරු පවුල් එක්ක වැටී ඉන්නට හිසට වහලක් පමණි. දවස් ගණනක් ඔවුන්ගේ බඩට ආහාරයක් වැටී නැත්තේ හිතේ ගින්දර ඊටත් වඩා දරුණු නිසා වන්නට ඇත. අපි නැවත පෑලියගොඩ නවලෝක වටරවුම පැත්තට එමින් සිටින විට මහ වැස්සක් ඇදවැටෙන්නට පටන්ගත්හ. එක්වරම සිහිවුනේ බැකෝ කුල්ලට බියෙන් කඩාවැටුණු ගෙවල්වල සුන්බුන් මැද කඳුළු පෙරමින් සිටින දරු පැටවුණු ඇතුළු අපේම ලේ ඇති මිනිස්සුන්ය. උන්ට ඒ වැස්සෙන් බේරෙන්නට යන්නට සෙවණක් නැත.

(ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර‍)

මේ පිළිබඳ විමසීමකදී නාගරික සංවර්ධන අධිකාරියේ ජේෂ්ඨ උපදේශක මෛත්‍රී ගුණරත්න මහතා මෙසේ අදහස් දැක්වීය.

’ඇමතිතුමා අපිට උපදෙස් දිලා තියෙන්නේ මේ ගමේ මිනිස්සු එක්ක කතාකරලා සැබෑ ලෙසම නිවාස නැත්තේ කවුද කියලා හඳුනාගෙන ඔවුන්ට නිවාස ලබාදෙන්න කියලා. හැබැයි ඒක නිශ්චිත නිර්ණායකයක් යටතේ තමයි සිදුවෙන්නේ. එක නිවසක පවුල් හතරක් පහක් හිටියට ඔවුන්ට දෙන්නේ එක ගෙයක් පමණයි.පසුව වෙන වෙනම කොළඹින් පිට ගෙවල් දෙන්න බලාපොරොත්තුවෙනවා. අපි මේ ජනතාවගේ සහය බලාපොරොත්තු වෙනවා. ගෙවල් දීලා තියන අයට නැවත ගෙවල් දෙන්න අපිට බලාපොරොත්තුවක් නෑ. එහෙම දීලා තිියනවනම් අපි ඒ සම්බන්ධ විමර්ශනයක් කරනවා. අපි බොරු පොරොන්දු දෙන්න සූදානම් නෑ. ඒත් ගෙවල් සැබෑ ලෙසම නැතිවුණ ජනතාවට අපි ඉක්මණින් ගෙවල් ලබාදෙනවා’

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles