Saturday, April 27, 2024

රාජ්‍ය බැංකු වර්ජනයට නැහැ!

සිය  ගනුදෙනු කරුවන් වෙනුවෙන් අද (01) දිනයේ දී ද උපරිම සේවාවක් සැලසීමට තම බැංකු සූදානම් බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරු අවධාරණය කර සිටියි.

රටේ ආර්ථිකය ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් නොකොට ඊට සහාය ලබා දීම සියලු රාජ්‍ය සේවකයන්ගේ වගකීම වන අතර ඒ වෙනුවෙන් බැංකු සේවකයන් ද තම වගකීම ඉටු කරනු ඇති බවට බැංකු ප්‍රධානින් විශ්වාසය පළ කරයි.

බැංකු ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කෙරුණා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට රාජ්‍ය බැංකු ප්‍රධානින් සහ නියෝජිතයන් සහභාගී වි සිටියා.

රජය ගෙන යන වැඩපිළිවෙළට බාධා එල්ල නොවන ලෙස සහ ගනුදෙනුකරුවන් අපහසුතාවට පත්නොවන ලෙස බැංකු කටයුතු පවත්වාගෙන යෑමට ගතයුතු පියවර පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණා.

එමෙන්ම රට තුළ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් රජය පුළුල් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී ඇති මේ මොහොතේ බැංකු පද්ධතිය අකර්මණ්‍ය බවට වූ පණිවිඩය ජාත්‍යන්තරයට යෑම රටට යහපත් තත්ත්වයක් නොවන බව සාගල රත්නායක පෙන්වා දුන්නා.

බැංකු සේවක සේවිකාවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනු ලබන අවස්ථාවලදී, වැඩවර්ජන සිදු කරන දිනයේ දී යතුරු භාර දීම, රන් ආභරණ ඇතුළත් සේප්පුවල යතුරු භාරදීම ආදි විධිවිධාන ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද හෙට දිනයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ බැංකු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදාළව එවැන්නක් සිදුව නොමැති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.

ඒ අනුව ඊට අදාළ පියවර කඩිනමින් ගන්නා බවට බැංකු සභාපතිවරු ප්‍රමුඛ ඉහළ කළමනාකාරිත්වය එකඟතාව පළ කර ඇත

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles