Saturday, April 27, 2024

රේසර්, ලංකා මුහුණ එළිය කරයි

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුව අඛණ්ඩ සහාය ලබාදෙන බව ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒහිදී ඉදිරි වර්ෂ දෙකක කාලය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන එකහමාරකට ආසන්න මුදලක් (ඩොලර් කෝටි 150ක්) ශ්‍රී ලංකාවට පිරිනැමීමට ලෝක බැංකුව සිය එකඟතාව පළ කර තිබේ.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති මාර්ටින් රේසර් මහතා ඇතුළු නියෝජිත පිරිස ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව සඳහන් කර තිබේ.

සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා නීති කෙටුම්පත් කිරීමේදී ලෝක බැංකුවේ තාක්ෂණික සහාය ලබාදෙන බවත්, ජාත්‍යන්තර මාධ්‍ය භාවිතය හා සුභසාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් තවදුරටත් මඟපෙන්වීම් සහ අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බවත් ඔවුහු සඳහන් කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ලෝක බැංකු සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන මෙහිදී පූර්ණ විමර්ශනයකට ලක්වී ඇති අතර එහි ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා සහ ලෝක බැංකු නියෝජිතයින් සිය අදහස් හුවමාරු කරගෙන තිබේ.

මූල්‍ය අධීක්ෂණය හා ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම, බදු පරිපාලනය වැඩි දියුණු කිරීම, ස්වෛරී-මූල්‍ය අංශයේ සම්බන්ධතාවය සහ පද්ධතිමය අවදානම් අවම කිරීම, බැංකු අංශයේ ස්ථාවරත්වය සහ විශ්වාසය පවත්වා ගැනීම, ප්‍රතිව්‍යුහගත කිරීම සහ බෙදාහැරීම, ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතාව අඩු කිරීම සහ ආර්ථිකයේ තරගකාරිත්වය වැඩි කිරීම, බ්‍රෝඩ්බෑන්ඩ් වෙළෙඳපොළේ පුද්ගලික ප්‍රාග්ධනය සහ තරගය බළමුළු ගැන්වීම, සමාජ ආරක්ෂණ ආයතනය, බෙදාහැරීමේ පද්ධතිය සහ ඉලක්ක කිරීම ශක්තිමත් කිරීම යන කරුණු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles