Tuesday, April 30, 2024

රාජ්‍ය රහස් වාර්තා පිටකළේ කවුද ?

බැඳුම්කර වංචාවේ තවත් රහස්‍ය වාර්තාවක් එළියට” යන ශීර්ෂය යටතේ වෙබ්අඩවි දෙකක පළවූ මහ බැංකු මූල්‍ය මණ්ඩලය වෙත භාරදිය යුතු රහස්‍ය වාර්තා තෙවන පාර්ශවයක් වෙත පත්වීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන බවට රහස් පොලිසිය ඊයේ (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත දැන්වීය.

ප්‍රාථමික වෙළෙන්දෙක් (Perpetual Treasuries Limited) වූ වෙළඳ සංගමයේ මෑතකාලීන ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මහ බැංකු මූල්‍ය මණ්ඩලය වෙත භාරදිය යුතු රහස්‍ය වාර්තාවක් මෙලෙස මෙම වෙබ්අඩවි තුළ පළවී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

මේ මස 17 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක උදේනි ප්‍රසංග අලවත්තගේ මහතා කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

ප්‍රාථමික වෙළඳුන් සම්බන්ධයෙන් අධීක්ෂණය හා පුනරීක්ෂණය කිරීම 2016/03/06 වන දින රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව මඟින් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරූ බවට පැමිණිල්ලේ සඳහන් ය.

ප්‍රාථමික වෙළෙඳුන් වන (Perpetual Treasuries Limited) වෙළෙඳ සංගමයේ මෑතකාලීන ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මහ බැංකු මූල්‍ය මණ්ඩලය වෙත භාරදිය යුතු රහස්‍ය වාර්තාවක් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ බැංකු නොවන මූල්‍ය අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් සකස් කර ඇත.

මෙම කණ්ඩායම සුපරීක්ෂණයට තවත් කණ්ඩායමක් සිටි අතර වාර්තාව සකස් කර 2016/06/16 භාරදී තිබූ බවත් නැවත සංශෝධනය කර 2016/09/01 තමන්ට ලැබුණ බවට පැමිණිල්ලේ සඳහන් ය.

මෙහි Soft Copy, මුද්‍රිත පිටපත් නිලධාරින් සන්තකයේ තිබෙන පරිගණකවල ඇති බවත් 2016/10/03 රහස්‍ය වාර්තාව පිටපත කෙටුම්පත් කරන ලද මුදල් මණ්ඩල පත්‍රිකා ද සමඟ www.lakutruth.comවෙබ් අඩවියේ බැඳුම්කර වංචාවේ තවත් රහස්‍ය වාර්තාවක් යනුවෙන් ද 10/4 මීට අදාළ වාර්තාවwww.colombotelegraph.com යන වෙබ් අඩවියේ ද ප්‍රචාරය වී තිබේ. මුදල් නීති පනතේ 45 වගන්ති ප්‍රකාරව වරදක් වන අතර මූල්‍ය වෙළඳ ‍පොළේ හා ආර්ථිකයේ රහස් තොරතුරු වෙනත් පාර්ශවයක් වෙත පත්වීමෙන් ජාතික මට්ටමේ ආර්ථික කළමනාකරණයට බලපෑම් එල්ල විය හැකි බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මේ අනුව අදාළ පරිගණක පිටපත අනවසරයෙන් යම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් ලබාගෙන ඇති බවට කරුණු අනාවරණය වන බවත් 2007 අංක 24 පරිගණක වැරදි පනතේ 4 හා 5 වගන්ති ප්‍රකාරව මෙන්ම 1980 අංක 62 දරන මූල්‍ය නීති පනතේ 45 වගන්ති වරදක් බවට පවසන රහස් පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වන බවට අධිකරණය වෙත දැනුම්දීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles