Thursday, May 2, 2024

රෝග ලක්‍ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයෝ නිවෙස් තුළම නිරෝධායනයට

* රෝග ලක්‍ෂණ පෙන්වන ආසාදිතයින් වාර්තා වීම  වැඩි වෙයි: රෝහල් ඇඳන් උපරිමය ආසන්නයේ

* දළදා මැඳුරේ ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරියකුගේ පවුලටම කොරෝනා

* නීතිඥවරියට කොරෝනා : මහනුවර අධිකරණ කටයුතු අත්හිටුවයි

කොරෝනා වෛරසය ආසාදනය වුවද රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයන්ට සිය නිවෙස් තුළදීම නිරෝධායනය වීමට අවස්ථාව ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කළ බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා වන ඇමැති දයාසිරි ජයසේකර මහතා ද සුවය ලබා නිවසට යෑමෙන් පසුව මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරනු ලැබිණි. එසේම සංකූලතා නොපෙන්වන ආසාදිතයන් සඳහා පහසුකම් තිබේ නම් නිවෙස් තුළම නිරෝධායනයට ඉඩ ලබා දෙන ලෙස රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා ද රජයෙන් ඉල්ලීමක් කළේය.

මේ අතර පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වසන්ත යාපා බණ්ඩාර මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ (25 වැනිදා) අනාවරණය වී තිබිණි.

මන්තී‍්‍රවරයාට සිදු කළ පීසීආර් පරීක්‍ෂණයකින් පසුව ඔහු ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇති අතර මන්තී‍්‍රවරයාගේ ආශ‍්‍රිතයන් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ මහත්වරුන්ද නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

මන්තී‍්‍ර වසන්ත යාපා බණ්ඩාර මහතා මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තුවේ හයවැනි මන්තී‍්‍රවරයා වේ.

කෙසේ වෙතත් මේ වන විට පෙර පැවති ආකාරයට වඩා රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන ආසාදිතයන් වාර්තා වීමේ ඉහළ යෑමක් රට තුළ පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එසේම දෛනිකව සුවය ලබන පිරිසට වඩා දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති අතර මේ තත්ත්වය තුළ රෝහල් ඇදන් ප‍්‍රමාණය උපරිමයට ළඟා වී ඇති බවද එම සංගමය පෙන්වා දෙයි.

පවතින කොරෝනා වසංගත තත්ත්වය සමඟ මෙරට දිස්ති‍්‍රක්ක විසිපහ තුළින්ම තෙදිනක් පුරා අඛණ්ඩව හත්සියය ඉක්මවූ ආසාදිතයන් පිරිසක් වාර්තා වෙමින් පෙරේදා දිනයේදී ද කොරෝනා ආසාදිතයන් 843 ක් හඳුනාගෙන තිබිණි. පුරුදු ලෙසම එහිදී වැඩිම ආසාදිතයන් ගණන කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වී තිබුණු අතර එය 480 ක් විය. එම සංඛ්‍යාව මෙතෙක් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් හඳුනාගත් වැඩිම ආසාදිතයන් පිරිස ද වේ.

මෙරටින් පෙරේදා දිනයේ හඳුනාගත් එම ආසාදිතයන් 843 සමඟ මෙරට සමස්ත ආසාදිතයන් ගණනද 58000 සේ සීමාව ඉක්මවා යමින් 58430 ක් ලෙස සටහන් විය.

මේ අතර කොරෝනා ආසාදනය වී මෙරට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් අතරින් තවත් 653 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව ඊයේ (25 වැනිදා) පස්වරුව වන විට සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කළේය.

එම පිරිසත් සමඟ මෙතෙක් වාර්තා වී ඇති මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් අතරින් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව ද පනස්දහස ඉක්මවා 50337 දක්වා ඉහළ ගියේය.

එසේම කොරෝනා ආසාදනය වූ තවත් ආසාදිත රෝගීහු 7810 ක් රෝහල්ගතව වැඩිදුර ප‍්‍රතිකාර ලබමින් සිටිති.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ කොරෝනා පොකුරත් සමඟ අතිශය සංකීර්ණ තත්ත්වයක් රට තුළ ඇති සිදු වූ ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමඟ රට පුරා ආසාදිතයන් හමුවන තත්ත්වය තුළ මහනුවර දළදා මාලිගාවේ ආරක්‍ෂක අංශයේ රාජකාරි කළ පොලිස් නිලධාරියකුගේ පවුලටම කොරෝනා ආසාදනය වී ඇතැයි ඊයේ අනාවරණය විය.

මේ හේතුවෙන් එම පොලිස් නිලධාරියා සහ ඔහුගේ පුතු ලග්ගල ප‍්‍රදේශයේ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකටත්, ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා පැණිදෙණිය ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙතත් යොමු කිරීමට සෞඛ්‍ය බලධාරින් කටයුතු කර ඇත.

එසේම එම පවුලේ අය ඇසුරු කළ ආශි‍්‍රතයන් හඳුනා ගැනීම සඳහා ඊයේ වන විට සෞඛ්‍ය අංශ විමර්ශනයක් ද අරඹා තිබිණි.

එසේම කොරෝනා ආසාදනය වූ නීතිඥවරියක් මහනුවර අධිකරණ සංකීර්ණයට පැමිණීමේ සිද්ධියක් හේතුවෙන් අධිකරණ කටයුතු දින කිහිපයකට තාවකාලිකව අත්හිටුවීමට ද ඊයේ කටයුතු කරනු ලැබීය.

ආසාදිත නීතිඥවරිය මධ්‍යම පළාත් සභාවේ නීති අංශයේ නීතිඥවරියක බව ද සඳහන් විය. එම නීතිඥවරිය සංචරණය කළ ස්ථානවල සිටි ආශි‍්‍රතයන් හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ විමර්ශන අරඹා ඇති අතර මහනුවර අධිකරණ සංකීර්ණයේ නීතිඥ විවේකාගාරය සහ ආපන ශාලාව මෙන්ම ඇතැම් නීතිඥ කාර්යාලවලට ද ඇය ගමන් කර තිබෙන බවද අනාවරණය වී ඇත.

මේ අතර පවතින වසංගත තත්ත්වයත් සමඟ ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඊයේ (25 වැනිදා) පෙරවරුවේ සිට වහාම කි‍්‍රයාත්මක වන පරිදි තවත් ප‍්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට කොරෝනා මර්දන ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය කටයුතු කළේය.

අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෝලාන මැල්කොණිය ගම්මානය සහ පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප‍්‍රදේශයේ ගල්හින්න හා පල්ලියකොටු ග‍්‍රාම නිලධාරී වසම් දෙකත් මෙසේ හුදෙකලා කරනු ලැබිණි.

හබරාදුව ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හල් සේවිකාවකගේ නිවසේ පැවති දානමය පිංකමකින් අනතුරුව ඇයට කොරෝනා ආසාදිත බවට අනාවරණය වීමේ සිද්ධියක් හේතුවෙන් හබරාදුව ලණුමෝදර පිරිවෙණේ භික්‍ෂූන් අට නමක් හා ආශ‍්‍රිතයන් ලෙස හඳුනාගත් තවත් 20 දෙනකු නිරෝධායනයට යොමු කිරීමට ද ඊයේ සෞඛ්‍ය බලධාරින් කටයුතු කර තිබිණි.

කොග්ගල ආයෝජන කලාපයේ සේවය කරන මෙම ඇඟලූම් කම්හල් සේවිකාවගේ නිවසේ පැවති දානමය පිංකමෙන් පසු ඇයට සිදු කළ පීසිආර් පරීක්‍ෂණයකදී වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles