Sunday, May 5, 2024

වැලිවේරියට නැති, බඳගිරියට ඇති නාමල්ගේ ජනතා ප්‍රේමය

දකුණු අසියාවේ වැසි වනාන්තර අතරින් හොඳම ජලය සහිත වැසිවනාන්තරයක් ලෙස පිළිගැනෙන සිංහරාජය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ බව සැබෑය, එහෙව් සිංහරාජයේ ගිණිකොන දිග මායිමට කිලෝමීටර 40කට ආසන්න දුරින් පිහිටි ප්‍රදේශයක ජනතාව පිරිසිදු පානීය ජලය ඉල්ලා කට්ට අව්වේ පාරේ උද්ඝෝෂණය කරන්නට සිදුවනවා යන්න විදේශිකයෙක් ඇසුවහොත් පුදුමයට පත්වීම වලක්වන්නට බැරිය. නමුත් කාරණය සීයයට දෙසීයක් සත්‍යය. හම්බන්තොට, බඳගිරියේ මිනිස්සු පාරට බැස පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කිරීමත්, එයට පොලීසිය සුපුරුදු පරිදි අතපය හිරියන තුරු පහරදීමත් නිසාවෙන් ජනතාවගේ පිරිසිදු ජලය ලබාගැනීමේ අයිතියට පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුව ලබාදෙන්නෙත් එකම පිළිතුරද කියා අපට සැකයක් පහලවීම සාධාරණය.

ජනතාවගේ ජල ප්‍රශ්නයට මෙසේ පහර එල්ලවුණ පලමු වතාව මෙය නොවන බව අපි හොඳින්ම දන්නා කාරණයක්. වැලිවේරියේ පිරිසිදු ජලය ඉල්ලා පාරට බැස්ස ජනතාවට පසුගිය රජය සැලකූයේ අන්තිම කැත විදියට හමුදාව යොදවා වෙඩි වරුසා එල්ල කරමින්ය. අහිංසක ජීවිත බිළිගත් ඒ උණ්ඩ වලට හේතුවූ ප්‍රශ්නයම දකුණේ බඳගිරියේද මතුවීම තුලින් පේන්නට ඇත්තේ පිරිසිදු ජල ප්‍රශ්නය එන්න එන්නම දරුණු වෙමින් ලංකාවේ හතර දිග් භාගයම ආක්‍රමණය කරමින් සිටින බවයි. බඳගිරියේ ජනතාවට පහර දෙන්නට පොලීසිය යෙදවීම තුලින් වත්මන් රජයත් ඇවිත් වැඩිකල් යන්නට කලින්ම ජනතාවගේ ඉල්ලීම් වලට සරම කරට ගන්න තත්වයට පත්වේනම් එය ලෙහෙසි පහසු තත්වයක් නොවේ.

නමුත් මේ සියල්ල අතර පශ්චාත් භාගයෙන් සිනහා වීමට සහ අත දිග හැර කණට ගහන්නට සිතෙන මට්ටමේ ප්‍රකාශයක් සිදුකර තිබුණේ එකසත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනපතිවරයාගේ පුත්‍රයාවන නාමල් රාජපක්ෂය. එ තමන්ගේ නිල Twitter ගිණුමේ බඳගිරියේ ජනතාවට පොලීසිය පහරදීම දැඩි ලෙස විවේචනය කරමින්ය . එහි සඳහන් කර තිබුණේ තමන් දැඩිලෙස පොලීසිය විසින් බඳගිරියේ ජනතාවට කරන ලද ප්‍රහාරය දැඩිලෙස හෙලාදකින බවත්, එම ජනතාව ඉල්ලා සිටියේ පිරිසිදු වතුර පමණක්ය යන බවය. බඳගිරියේ පහරදීම අපි පවා දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින්නෙමු, නමුත් නාමල් රාජපක්ෂලාට එම ප්‍රහාරය ගැන වචනයක් හෝ කියන්නට සදාචාරත්ම අයිතියක්, එහෙමත් නැත්නම් විලිලැජ්ජාවක් තිබෙනවාද යන්න සිතා බැලිය යුතුය. රෙද්දක් ඇඳගෙන බඳගිරියේ ප්‍රහාරය ගැන කතා කරන්නට පෙර එදා වැලිවේරියේදී ජනතාවට අමානුෂික වෙඩ් ප්‍රහාරවලට අණ දුන්නේ කාගේ ආණ්ඩුවෙන්ද, එදා ප්‍රහාර එල්ලවූ අවස්ථාවේත් මෙලෙස කඳුළු සැලුවේද කියා තමන්ම සිතා බැලීම වඩාත් හොඳය.

නාමල් රාජපක්ෂ තරුණ මන්ත්‍රීවරයාට දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීතුමාට මෙන් අමතකවීමේ රෝගයක් තියනවාද යන්න හරියටම අපි දන්නේ නැති නිසා අපි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට කියා සිටින්නේ මුලින් වැලිවේරියේ වෙඩි කෑ ජනතාවට සාධාරණයක් ඉටුකර ඉන්පසු බඳගිරියට කඳුළු සලන ලෙසය. එසේ නැතිනම් කිඹුල් කඳුළු හෙලා බඳගිරිය නැමති බොරවතුර කඩිත්තේ මාළු බාන්නට එන්නේ රෙදි ඇඳගෙනද යන්න ජනතාව අසන දිනය වැඩි ඈතක නොවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles