Monday, April 29, 2024

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් වංශකතාවට වසර 40 යි

1982 වසරේ පෙබරවාරි 17, මෙරට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී දිනයක් බවට පත් විය.ඒ, ක්‍රිකට් ක්‍රීඩාව ලොවට දායාද කළ, හිරු නොබසින අධිරාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායම සමග තරගවැදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමු වරට ටෙස්ට් තරගයක් සඳහා එක් වීමත් සමගිනි.
කොළඹ පී.සරා. ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී සිදත් වෙත්තමුණි, රෝයි ඩයස්, දුලිප් මෙන්ඩිස්, රන්ජන් මඩුගල්ලේ, අර්ජුන රණතුංග, සෝමචන්ද්‍ර ද සිල්වා, අසන්තා ද මෙල්, ලලිත් කළුපෙරුම, මහේෂ් ගුණතිලක, අජිත් ද සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්තේය

ඒ අනුව ශ්‍රී ලාංකීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී අදට යෙදී තිබෙන පෙබරවාරි 17 වනදා දිනය මෙරට ක්‍රිකට් ඉතිහාසයේ සදා නොමැකෙන දිනයකි. ටෙස්ට් වරම් දිනාගත් ලොව 8 වැනි රට බවට පත්වූ ශ්‍රී ලංකාවට අද දිනට හරියටම වසර 40 ක් සපිරෙන බැවිනි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය අවස්ථාවක් ලෙසින් සැලකෙන පළමු ටෙස්ට් තරගය පවත්වා ඇත්තේ හරියටම අද වසර 40 කට පෙර හෙවත් 1982 වසරේ පෙබරවාරි 17 වනදා යි. ක්‍රිකට් උපන් රට ලෙසින් සැලකෙන එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති මෙම සුවිශේෂී තරගය වනාතමුල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පවත්වා තිබෙනවා.

බන්දුල වර්ණපුර ශ්‍රී ලංකේය ක්‍රිකට් ඉතිහාසයට එක්වන්නේ මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙසිනි. 1981 වසරේ ජුලි 21 වැනිදා ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු 1982 වසරේ පෙබරවාරි 17 වැනිදා සරවනමුත්තු ක්‍රීඩාංගණයේදි (ඕවල් ක්‍රීඩාංගණය) ශ්‍රී ලංකා පිල සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට මුහුණ දුන් බන්දුල වර්ණපුර, ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් ලකුණ රැස් කරමින් මෙරට ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළේය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල බන්දුල වර්ණපුරයන් විසින් මෙහෙයවන ලද අතර එංගලන්ත කණ්ඩායම කීත් ෆ්ලෙචර් විසින් දරනු ලැබීය. මංගල ටෙස්ට් වරම් හිමිකර දුන් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7 ක පරාජයක් අත්විඳීමට සිදු වුවත් එම තරගය සිව්වැනි දිනය දක්වා රැගෙන යෑමට බන්දුල වර්ණපුරයන් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 218 ක් රැස් කරගත්තේය. පන්දුවාර 81 කුත් පන්දු 5 ක් පුරා විහිදුණු ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් රංජන් මඩුගල්ලේ සහ අර්ජුන රණතුංගයන් අර්ධ ශතක වාර්තා කළහ. පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කිරීමේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 223 කට සීමා කිරීමට අසන්ත ද මෙල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුණා.

ලකුණු 5 ක් පසුපසින් සිටි දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකාව විටෙක කඩුලු 3 කට ලකුණු 167 ක් ලෙස ප්‍රබල තත්ත්වයක පසු වුවත් අවසන් කඩුලු 7 ම ලකුණු 8 ක් ඇතුළත බිඳ වැටීම නිසා ශ්‍රී ලංකා පිල අනපේක්ෂිත අසීරුතාවයකට මුහුණ දුන්නේය. පළමු ඉනිමේ කඩුලු දවා ගැනීමට අසමත් වුණු ජෝන් එම්බියුරි දෙවැනි ඉනිමේදී කඩුලු 6 ක් දවාගනිද්දී තනිව සටන් වැදුණු රෝයි ඩයස් ලකුණු 77 ක් රැස් කරගත්තේය. ලකුණු 171 ක ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමේදී කඩුලු 3 ක් පමණක් දැවී සපුරා ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත්වූහ. මෙම තරගයේ විනිසුරුවන් ලෙස හර්බි ෆෙල්සිංගර් සහ කේ.ටී. ෆ්‍රැන්සිස් යන මහත්වරු කටයුතු කළහ.

පළමු තරගය පරාජයට පත් වුවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය දක්වා උසස් කිරීමට තමන් වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එදා පෙන්නුම් කිරීමට සමත්වූහ. කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙසින් කටයුතු කළ අසන්ත ද මෙල්, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගන්නා ලද පළමු ක්‍රීඩකයා බවට පත්වද්දී අවසන් වරට ටෙස්ට් වරම් දිනාගත් චරිත් අසලංක දක්වා ක්‍රීඩකයින් 157 දෙනෙකු දශක 4 ක ටෙස්ට් ඉතිහාසයේදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

අද වැනි දිනෙක පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමෙන් පසු ශ්‍රී ලංකාව මේ දක්වා ටෙස්ට් තර 299 කට ක්‍රීඩා කර තිබේ. ඉන්දියාවට එරෙහිව ලබන මාර්තු 04 වැනිදා මොහාලිහි ආරම්භ වන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවේ 300 වැනි ටෙස්ට් තරගය වනු ඇත. මෙතෙක් සහභාගිව ඇති ටෙස්ට් තරගවලදී අවස්ථා 95 කදී ජයග්‍රහණ අත්කරගෙන සිටින ශ්‍රී ලංකාව අවස්ථා 113 කදී පරාජයට පත්ව තිබේ. තරග 91 ක් විඳුමකින් තොරව අවසන්ව තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට සමත්ව සිටින්නේ කුමාර් සංගක්කාර වන අතර ඔහු තරග 134 කදී මුලු ලකුණු 12400 ක් රැස් කර ගැනීමට සමත්ව සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 57.40 ක රඳවා ගනිමිනි. වැඩිම කඩුලු ලොව වැඩිම ජාත්‍යන්තර තරගවල කඩුලු ලාභියා බවට පත්ව සිටින මුත්තයියා මුරලිදරන් පසුවන අතර ඔහු තරග 133 කදී කඩුලු 800 ක් බිඳ හෙළීමට සමත්ව සිටියි.

වසර 40 ක ඉතිහාසය තුල ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 299 ක් ක්‍රීඩා කර ඇති අතර ක්‍රීඩකයන් 157 දෙනෙකු ටෙස්ට් වරම් දිනාගෙන ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩා කල ක්‍රීඩකයන් පස් දෙනෙකි.සනත් ජයසූරිය 2005 වසරේදීත්,මුත්තයියා මුරලිදරන් 2006 වසරේදීත්,චමින්ද වාස් 2007 වසරේදීත්,මහේල ජයවර්ධන 2009 වසරේදීත් සහ කුමාර් සංගක්කාර 2011 වසරේදීත් තම සියවන ටෙස්ට් තරගය ක්‍රීඩා කොට ඇත.

එලබෙන මාර්තු මස 4 වන දින මොහාලි නුවරදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහභාගී වන 300 වන ටෙස්ට් තරගය වීමද විශේෂත්වයකි.

1982 පෙබරවාරි 17 ශ්‍රී ලංකාව මංගල ටෙස්ට් වරම් හිමිකර ගත්තේ එංගලන්තයට එරහිවය.
ශ්‍රී ලංකාව 218/10 පලමු ඉනිම
අර්ජුන රණතුංග 56(96)
ඩ්‍රෙක් අන්ඩර්වුඩ් 28/5
එංගලන්තය 223/10 පලමු ඉනිම
ඩේවිඩ් ගවර් 89
අසන්තාද මෙල් 70/4
ශ්‍රී ලංකාව 175/10 දෙවන ඉනිම
රෝයි ඩයස් 77
ජොන් ඇම්බ්‍රි 33/6
එංගලන්තය 171/3 දෙවන ඉනිම
ක්‍රිස් ට්‍රැවේ 85
එංගලන්තයට කඩුළු 7ක ජයක් හිමිවිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles