Wednesday, May 8, 2024

හන්දිකඩාල් කමල් ගුණරත්න නි.තානාපති කාලේ කළ ම්ලේච්ඡ ඝාතනයේ බ්‍රසීලියානු සාක්කි මෙන්න: මැරෙන්න ඔලුවට ගැහුවේ පතල් හාරපු මැෂින් කෑල්ලකින්: මරලා පාරට ඇද දාලා: හවුල්කරුවන් ඇමරිකාවට පන්නලා

විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න නමැති ඝාතකයා බ්‍රසීලයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති ලෙස රාජකාරි කළ කාලයේදී තානාපති කාර්යාලයේ සේවය කළ අයි.ඩී. නිමල් රූපසිංහ නමැති සේවකයාගේ හිසට මොට ආයුධයකින් පහර දී සිදුකළ ම්ලේච්ඡ ඝාතනයේ සේයාරූ සහිත සාක්කි රැසක් ලංකා ඊ නිව්ස් වෙත හෙළිදරව් වී තිබේ.

මෙම තිරිසන් ඝාතනය ගැන “හන්දිකඩාල් කමල් ගුණරත්න බ්‍රසීලයේ නි.තානාපති කාලේ සේවකයෙකුගේ හිසට මොට්ට ආයුධයකින් පහර දී මරා දාලා: ගෝඨාත් සමග එකතු වී ඝාතනය වසන් කරලා: ඇඟහිරි වැටෙන හෙළිදරව්වක්..!“ මැයෙන් ප්‍රථම වරට පසුගිය අප්‍රේල් 03 දා ලංකා ඊ නිව්ස් වෙතින් අනාවරණය කෙළේය.

නවතම සාක්කි අනුව කමල් ගුණරත්න විසින් මෙම ඝාතනය සිදුකරන ලද්දේ 2013 නොවැම්බර් 03 දා රාත්‍රියේ බවත් ඊට අංජුල රුවන්පතිරණ  සහ සරත් එදිරිවීර ලියනගේ නමැති තවත් දෙදෙනෙකු සහාය වී ඇති බවත් පසුව සිද්ධිය සැඟවීම සඳහා සහායකයන් දෙදෙනාව කමල් ගුණරත්න සහ රාජා එදිරිසූරිය (එවක බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති) විසින් ඇමරිකාවට පිටත් කර යවා ඇති බවත් වාර්තා වේ. රාජා එදිරිසූරිය ඇමරිකානු පුරවැසියෙකි.

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටා තිබුනේ QI 13. CONJUNTO 13. CASA 1, LOGO SUL , BRASILA, BRASIL දරණ ලිපිනයේ තිබූ ගොඩනැගිල්ලක ය. කමල් ගුණරත්න නැවතී සිටි නිවස පිහිටා තිබුනේ එහි සිට කිලෝ මීටර් භාගයක පමණ නුදුරිනි. ඝාතනය සිදුකළ දින 2013 නොවැම්බර් 03 දා රාත්‍රී 10 ට පමණ කමල් ගුණරත්න සිය නිවසේ සිට තානාපති කාර්යාලට පිහිටි ගොඩනැගිල්ලට පැමිණ ඇත. එහි අංජුල රුවන්පතිරණ සහ සරත් එදිරිවීරද සිටියහ. ඝාතනයට ලක් වූ අයි.ඩී. නිමල් රූපසිංහද එහි පැමිණි අතර කමල් ගුණරත්න සහ නිමල් රූපසිංහ අතර ආරෝව හටගෙන තිබේ.

ඔළුවට ගැහුවේ පතල් හෑරූ මැෂින් කෑල්ලකින්

මෙම ගොඩනැගිල්ල කුලියට දී තිබූ බ්‍රසීල ජාතිකයාට රත්තරන් පතලක් තිබී ඇත. වසර 5 කට පමණ පෙර එකී පතල වසා දමා එහි තිබූ යන්ත්‍ර සූත්‍ර ආදිය ගොඩනැගිල්ලේම පසෙක තිබූ ගරාජයක දමා වසා තිබිණ. ආරෝව  හටගත්තේ එම ගරාජය අසලය. කමල් ගුණරත්න ගරාජය හැර එහි තිබූ යන්ත්‍ර කැබැල්ලකින් නිමල් රූපසිංහගේ හිසට පහර දී තිබේ. එම මාරාන්තික පහරින් නිමල් රූපසිංහ ඇද වැටී ඇත. රූපසිංහ මිය ගියා යයි සිතූ කමල් අංජුල සහ සරත් තිදෙනා එකතු වී රූපසිංහව ඇදගෙන ගොස් තානාපති කාර්යාල භූමියෙන් පිටත මහ පාරට දමා මහපාරේ වාහනයක හැපුනු අයෙක් සේ  ඇඟවීමට සලස්වා කිසිවක් නොදත්තවුන් සේ හැසිරීමට කතිකා කරගෙන තිබේ. මහ පාරට ඇද දමා සිටි නිමල් රූපසිංහව රෝහලට රැගෙන ගොස් ඇත්තේ බ්‍රසීල ජාතිකයන් පිරිසක් විසිනි.

ගැටුමකින් මිය ගියා වුව තම රටේ සහෝදර මිනිහෙක් නේදෝ යැයි සලකා හෝ රෝහලකට ඇතුලත් කිරීමට තරම් වත් කමල් ගුණරත්න, අංජුල රුවන්පතිරණ සහ සරත් එදිරිවීර ලියනගේ යන නරුමයන් තිදෙනා කටයුතු කර නැත.

නිමල් රූපසිංහ ඇතුළු කරන ලද්දේ සාන්ත මාරියා හි පිහිටි රෝහලකට ය. සාන්ත මරියා රෝහල තානාපති කාර්යාලයේ සිට කිලෝ මීටර් 120 ක් තරම් ඈත පිහිටි රෝහලකි. නිමල් රූපසිංහ එතරම් ඈත රෝහලකට ඇතුළු කරන ලද්දේ මන්ද යන්න ගැටළුවකි. කෙසේ වෙතත් සාන්ත මරියා රෝහලේ අංක 2 දරණ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන ලද නිමල් රූපසිංහගේ ඇඳ අංකය වූයේ අංක 7 යි. ඇතුලත් කරන ලද වේලාව ලෙස රෝහලේ සටහන් වී ඇත්තේ 2013 නොවැම්බර් 04 දා පාන්දර 4.15 ය. නිමල් රූපසිංහගේ සාක්කුවක තිබී හමුවූ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද හැඳුනුම්පත අනුව රෝහල විසින් මේ පිළිබඳව තානාපති කාර්යාලය දැනුවත් කර තිබේ.

(මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය අයෙක් වේ නම් සාන්ත මරියා රෝහලේ දුරකථන අංකය 00556133926714 වේ.)

දොස්තර ලෝරියා වූ මාරියා

එතැන් පටන් රූපසිංහගේ ලංකාවේ සිටි එකම දියණිය වූ අයි.ඩී. තේජිකා සඳමාලී රූපසිංහ මහත්මියට තානාපති කාර්යාලය විසින් පවසා ඇති සියල්ල බොරු ය. පසුගිය ලිපියෙන් ලංකා ඊ නිව්ස් හෙළිකරන ලද්දේ සඳමාලි මහත්මිය විසින් ප්‍රකාශ කරන ලද විස්තරයයි. නිමල් රූපසිංහගේ හිසට නොවැම්බර් 04 දා අශ්වයෙකු පයින් ගසා ඇති බවත් ඔහු රෝහල් ගත කර දැඩි සත්කාර ඒකකයේ ඉතා අසාධ්‍යව ප්‍රතිකාර ලබනවා යයි සඳමාලිට කියා තිබුනේ ඝාතනයට සම්බන්ධ වූ අංජුල රුවන් පතිරණම ය. අංජුල රුවන් පතිරණ විසින් රෝහලේ වෛද්‍යවරියක යැයි සඳමාලිට හඳුන්වා දුන් Dr Loria අන් කිසිවෙක් නොව අංජුල රුවන් පතිරණ අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගිය මාරියා දෝ කාමෝ Maria Do Carmo නම් බ්‍රසීල ජාතික තරුණියකි. (මෙහි ඇයගේ සේයාරූ කිහිපයක් දක්වා ඇත) මාරියා වෛද්‍යවරියක් නොවන අතර ඇය රෝහලක සේවය කරන සාමාන්‍ය එකියකි.  මේ වන විට ඇය බ්‍රසීලියාහි හි පදිංචිව සිටී. ඇයව කාමන් නමින්ද හැඳින්වේ.

2013 නොවැම්බර් 04 දා සිට 2014 මාර්තු 10 දා දක්වා කෝමා තත්ත්වයකින් පසුවූ නිමල් රූපසිංහ රෝහලේ දී සිහි නොලබාම මිය ගියේ ය.

අංජුල-සරත්-අජිත්: කමල්ගේ ඝාතනයේ සාක්කි කරුවෝ

මෙම සාපරාධී ඝාතනය වසන් කිරීම සඳහා නියෝජ්‍ය තානාපති කමල් ගුණරත්න සහ තානාපති රාජා එදිරිසූරිය විශාල මහන්සියක් ගත්හ. ඝාතනයට ඍජු ලෙසම සම්බන්ධ වූ අංජුල රුවන් පතිරණ සහ සරත් එදිරිවීර ලියනගේ දෙදෙනාගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමටත් පෙර ඔවුන්ව ඇමරිකාවට පැන්නීමට කටයුතු කළහ. ඒ සඳහා රාජා එදිරිසූරිය ඇමැරිකානු පුරවැසියෙකු වීම විශාල උදව්වක් වී තිබේ. අංජුල රුවන් පතිරණ මේ වන විට කැලිෆෝනියාවේ පදිංචිව සිටින අතර කැලිෆෝනියාවේ අර්වින්හි Medtronic නමැති ආයතනයේ සේවය කරයි. සරත් එදිරිවීර ලියනගේ සහ අංජුල රුවන් පතිරණ ඇමරිකාවේදී ගන්නා ලද සේයාරුවක් මෙහි දැක්වේ. 

මෙකී ඝාතනයේ තවත් සාක්කි කරුවෙකු සිටී. ඔහුගේ නම අජිත් වීරසිංහය. මේ සියළු දෙනාම ලංකාවේ විදේශ අමාත්‍යාංශය මගින් විදේශ සේවයට යවන ලද්දවුන් වුවද ඒ කිසිවෙකු යලි ලංකාවට පැමිණ නැත. අජිත් වීරසිංහ දැන් රියැදුරෙකු ලෙස බ්‍රසීල තානාපති කාර්යාලයේ සේවය කරයි. අජිත් වීරසිංහගේ සේයාරුවක් ද මෙහි දැක්වේ.

කමල් ගුණරත්නගේ වහල් සේවයේ නීච කම

ගෝඨාභය රාජපක්ෂගේ මිනීමරු සහායකයෙකු වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න රණවිරු ලේබලයට මුවා වී රටේ සිවිල් පුරවැසියෙකු වූ අයි.ඩී. නිමල් රූපසිංහව තිරශ්චීන ලෙස ඝාතනය කර තිබේ. 2013 නොවැම්බර් 02 දා තම දියණියට දුරකථන ඇමතුමක් දුන් නිමල් රූපසිංහ පවසා තිබුනේ කමල් ගුණරත්න තමාව වහල් සේවයේ යොදවන බැවින් තමා ටිකට් පතක් ගෙන යලි රටට එන බවයි. නිමල් රූපසිංහ ගුවන් ටිකට් පතක් ලබා ගැනීම සඳහා විවිධ පුද්ගලයන්ගෙන් පසුව ගෙවීමේ පොරොන්දුව මත මුදල්ද ඉල්ලාගෙන තිබිණ. නිමල්ව යෙදැවූ වහල් සේවය කුමක්දැයි ඇසුවහොත් මෙය කියවන පාඨකයා කමල් ගුණරත්නව පණ පිටින් හම ගසනු ඇත. කමල් ගුණරත්නගේ බිරිඳගේ මාස්ශුද්ධිය සහිත යට ඇඳුම් සේදීමට නිමල් රූපසිංහට බල කිරීම එකී වහල් සේවය යි. 

මෙම නීච ඝාතනය සම්බන්ධයෙන් නිමල් රූපසිංහගේ දියණිය වසර ගණනකට පසුව නොබෝදා කරන ලද පැමිණිල්ලක් අනුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ මෙහෙයවයි.  උපුටා ගැනීම -ලංකා ඊ නිව්ස් 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles