Wednesday, May 8, 2024

2024 ජනාධිපතිවරණය ගැන ට්‍රම්ප්ගේ තීරණය දෙන දවස කියයි

තමන් 2024 ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේද යන්න ප්‍රකාශයට පත් කෙරෙන වකවානුව පිළිබඳ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා අදහස් දැක්වූයේ ය.

ඒ අනුව ඔහු කියා සිටියේ 2022 නොවැම්බරයේ පැවැත්වෙන මධ්‍යවාර මැතිවරණවලින් අනතුරුව ඔහු ඒ බව නිල වශයෙන් සඳහන් කරන බව ය.

“මා හිතන්නේ, අවංකව කිව්වොත්, බොහෝ දෙනා ඒ තීරණය ගැන සතුටු වෙයි. බොහෝ විට මධ්‍යවාර මැතිවරණවලින් පස්සෙ ඒ ගැන නිල වශයෙන් නිවේදනය කෙරෙයි” ඔහු Fox News සමග පවසා තිබුණි.

කෙසේ වෙතත් ඇතැම්විට තමන් එතෙක් කල් නොමරා තීරණයක් දෙනු ඇති බවත් බොහෝ රිපබ්ලිකන් පාක්ෂිකයන් සිය තීරණය පිළිබඳ බලාපොරොත්තු තබා තිබෙන බවත් ඔහු කියා සිටියේ ය.

පසුගිය මාස කිහිපය තුළම ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණය පිළිබඳ නිල වශයෙන් කිසිවක් සඳහන් නොකළේ ය. එහෙත් ඔහු 2024 පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටින බව පෙනීයන ඉඟි පළවේ. මෑතකදී නව සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කිරීමට ඔහු විසින් ගනුලැබූ පියවර ද ඒ පිළිබඳ ඉඟියක් ලෙස ඇතැම්හු දකිති.

“පක්ෂයේ ඒ පිළිබඳ සිත් තබාගෙන සිටින බොහොම සුදුසුකම් ඇති බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් මා ඉදිරිපත් වන්නේ නම් තමන් ඉදිරිපත් නොවන බව ඉන් වැඩි දෙනෙක් කියා සිටියා” යයි ද ට්‍රම්ප් පැවසී ය.

2022 මධ්‍යවාර මැතිවරණය පවතින බයිඩන් පාලනයට ඉතා වැදගත් වනු ඇත. එහිදී කොන්ග්‍රස් සභාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ද සෙනට් මණ්ඩලයේ තුනෙන් එකක් ද පත්කරගැනේ. සාමාන්‍යයෙන් ඕනෑම ජනාධිපතිවරයකු සිය ධුර කාලයෙන් අඩක් ගතවෙද්දී කෙතරම් ජනප්‍රසාදයට පත්ව තිබේද යන්න පිළිබඳ ඉඟියක් එමගින් සැපයේ.

චාමර සුමනපාල

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles