Wednesday, May 8, 2024

චීනයේ කම්කරු හිමිකම් තහවුරු කරන පනත අමෙරිකාව නිසි පරිදි බලාත්මක කරන්නේ දැයි කුකුසක්

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් කම්කරු නීති උල්ලංඝණය කරමින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ තම රටට ආනයනය කිරීම තහනම් කරන කම්කරු ආරක්ෂාව තහවුරු කරන පනතකට අත්සන් තැබුවද එම පනත නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න සම්බන්ධයෙන් මේ වනවිට සැක මතු වෙමින් ඇත.

අදාළ පනතට අත්සන් තැබීමට අමෙරිකානු ජනාධිපතිවරයාට සිදුවූවද එය ප්‍රායෝගික තලයේදී නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේද යන්න ගැන දැනටමත් ගැටලු මතුවෙමින් ඇතැයි අමෙරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.


පසුගිය කාලයේ කම්කරු ශ්‍රමය සූරාකමින් හා කම්කරු අයිතිවාසිකම් නොසලකා හරිමින් චීනය කටයුතු කරන බවට දිගින් දිගටම චෝදනා එල්ල වූ අතර ඊසාන දිග චීනයේ ෂිංජියැන්ග් හි උයුගුර් පළාතේ කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම මේ අතර විශේෂයෙන් සංවාදයට ලක්විණි.

ඒ අනුව එම ප්‍ර දේශයේ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ තම රටට නිර්යාත කරන්නේ නම් කම්කරු අයිතිවාසිකම් නිසි ආකාරයට ආරක්ෂා කළ යුතුබව පසුගියදා අමෙරිකාව අත්සන් තැබූ පනත මගින් ප්‍රකාශිතය.

උයිගුර්වරැන්ට එරෙහි වර්ගවාදී ඝාතන සිදුකරන බවටත් ඔවුන්ගේ ශ්‍රමය අසාධාරණ ලෙස හා කම්කරු නීති නොසලකා හරිමිනි සූරා කන බවටත් එහි වෙසෙන සුළු ජන කොට්ඨාස මෙම ක්‍රියා හේතුවෙන් දැඩි පීඩාවට පත්කිරීමට චීන බලධාරීන් ක්‍රියාකරන බවටත් පසුගිය කාලයේ දිගින් දිගටම චෝදනා එල්ලවිණි.

මේ හේතුවෙන් එම ප්‍ර දේශයේ නිෂ්පාදනය කරන භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් දැඩි නීති රීති පැනවීමට අවශ්‍ය බවට අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ගන්නා ලද තීරණය අනුමත කරමින් අදාළ පනතට අත්සන් තැබීමට එරට ජනපති ජෝ බයිඩන් ක්‍රියාකළේ පසුගිය දෙසැම්බර් මාසයේ දී ය.

එහෙත් එය සතියකට පමණක් නිසි ලෙස ක්‍රියාත්මක කෙරුණු නමුත් යළි එම ප්‍රදේශයේ නිෂ්පාදිත භාණ්ඩ අමෙරිකාවට ගෙන්වා ගැනීමේදී තීරු බදු රහිත සහනයක් සැපයීමට අමෙරිකානු රජය කටයුතු කර තිබිණි.

මෙම පනතට එරෙහිව අදහස් දක්වන්නට ඇතැම් දේශපාලනඥයන් කටයුතුකර තිබුණේ ව්‍යාපාරික අරමුණ සම්බන්ධයෙන් සැලකිලිමත් වීමේ දී ලාභයේ අපේක්ෂාවන් සලකා ව්‍යාපාරයන්හි නිරතවන සමාගම්වලට මෙවැනි පනතක් මගින් බලපෑම් විය හැකි බවට අදහස් දක්වමිනි.

මේ අතර අමෙරිකාව ද උද්ධමන අර්බුදය සමඟ අදාළ තීන්දු තීරණ ලබාගැනීමේ දී යම් යම් ගැටලුවලට මුහුණපා ඇති අතර මෙම පනත ප්‍රා යෝගිකව බලාත්මක වීම තීරණය කිරීමට හැකියාව ඇත්තේ ඉදිරි කාල සීමාව තුළ සිදුවන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමෙනි.
එවැනි මතවාදයක් සමාජගත වෙමින් ඇත්තේ පසුගිය කාලයේ උයුගූර් ශ්‍රමිකයන්ගේ දායකත්වය සහිතව නිපදවන ලද සූර්ය පැනල අමෙරිකාවට ආනයනය කිරීමේදී තීරු බදු සහනයක් ලබාදීමට එරට බලධාරීන් ක්‍රියාකළ හෙයිනි.

මෙවැනි ක්‍රියා මගින් කම්කරු නීති උල්ලංඝනය කරමින් සිදුකරන චීනයේ බලහත්කාරී හැසිරීමට උඩගෙඩි දීමක් සිදුවිය හැකි බවත් එමගින් උයිගූර් කම්කරුවන්ගේ අයිතිවාසිකම් තවදුරටත් අර්බූදයට ලක්විය හැකි බවත් අමෙරිකානු මාධ්‍ය පෙන්වා දී තිබේ.
මේ හෙයින් අදාළ පනත නිසි පරිදි බලාත්මක කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව කටයුතු නොකරන්නේනම් සිදුවන්නේ උයුගූර් කම්කරුවන්ගේ අයිතිවාසිකම් තවදුරටත් අඳුරට වැටීම පමණක් බවද ඔවුහු තවදුරටත් පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles