Friday, April 26, 2024

කලාපීය ආරක්ෂාවට තර්ජනයක්!

තායිවානය සහ චීනය අතර යුදගැටුම් උණුසුම සමග ඉන්දියානු සාගර කලාපයට පැමිණි ඔත්තුබැලීමේ නෞකාව මේ වන විට කලාපයේ සියලු රටවල් වල ආරක්ෂාවට තර්ජනයක් බව වාර්තා වෙනවා.

ලබන අගෝස්තු 11වැනිදා ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට පැමිණීමට නියමිත බව පැවසෙන චීනයේ අධි තාක්ෂණික නෞකාවක් (ඔත්තු බැලීමේ නෞකාවක්) වන ‘යුවාන් වැන්ග්-5’ ඉන්දියාවේ සහ ඉන්දියානු සාගර කලාපයේ පවතින උපාය මාර්ගික වැදගත්කමකින් යුතු ආර්ථික සහ ආරක්ෂක මර්මස්ථාන රැසකට බලපෑම් කළහැකි පහසුකම්වලින් සමන්විත යාත්‍රාවක් බව අනාවරණය වේ. මේ නිසාම ඉන්දියාව මෙම නෞකාව සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලක් පළකර ඇති අතර, එයට ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සිය අප්‍රසාදයද පළකර ඇත.

මෙලෙස අදාළ නෞකාව විසින් බලාපෑම් එල්ල කළ හැකි ප්‍රධානම මර්මස්ථානයක් වන්නේ ඉන්දියාවේ කල්පාක්කම්හි ඇති න්‍යෂ්ටික බලාගාරයයි. අනෙක වන්නේ කූඩාන්කුලම්හි ස්ථාපිත පරමාණුක මධ්‍යස්ථානයයි. එසේම කෝචිහි පිහිටි නාවික මධ්‍යස්ථානය සහ දකුණු ඉන්දීය වෙරළ තිරයේ ඇති ප්‍රධාන වරායන් 06ක්ද ඉන්දියාව සිය බලපෑමට ලක්විය හැකි මර්මස්ථාන ලෙස සලකනු ලබයි. මිට අමතරව චීන නෞකාවට තොරතුරු රැස්කළ හැකි ඉන්දියාවට ඇති වැදගත් මර්මස්ථාන ගණනාවක් පවතින බව ඉන්දියාව හඳුනාගෙන තිබේ. මේ නිසාම ඉන්දීය රජය විසින් මේ වන විටත් ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් අනතුරු අඟවා ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්යංශය විසින් ඒ වෙනුවෙන් නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

“ඉන්දියාවේ ආරක්ෂාවට සහ ආර්ථික කටයුතුවලට බලපානු ලබන සියලුම තත්වයන් පිළිබඳව ඉන්දියාව දැඩි ලෙස සලකා බලනු ලැබේ. එසේම ඉන්දියාව ඒ වෙනුවෙන් ගතහැකි සියලුම අවශ්‍ය පියවර ගැනීමටද පසුබට වන්නේ නැත.” යැයි එම නිවේදනයේ සඳහන් කර ඇත. ඒ අනුව පැහැදිලිවම පෙනීයන්නේ මෙම චීන නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව පසුවන්නේ කිසිදු ප්‍රසාදයකින් නොවන බවයි. වාර්තා අනාවරණය කරන ආකාරයට ඉන්දීය නාවික හමුදාව පසුවන්නේ ‘තත්වයන්’ පිළිබඳව සිරුවෙනි. එම නිසාම නාවික හමුදාව නිරන්තරයෙන් චීන නෞකාවේ ගමන් මග නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles