Saturday, April 27, 2024

ගාලු මුවදොර ප්‍රකාශනය එළිදකියි.

ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” පුරවැසි අරගලයේ පාර්ශවකරුවන් පළමු වරට සිය යෝජනාවලිය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ, අරගලයේ දින 34 ක් ගතවන විටයි. එය නම්කර ඇත්තේ “ගාලුමුවදොරින් ඔබ්බට පුරවැසි ඉල්ලීම් යෝජනාවලිය” නමින්. 

එම යෝජනාවලියට යෝජනා 08 ක් ඇතුලත්. එහි ප්‍රධානතම යෝජනාව වන්නේ ජනාධිපති ප්‍රමුඛ රාජපක්ෂවරු නිල වශයෙන් බලය අත්හැරීමයි. සීමිත කාලයක් සඳහා අන්තර්වාර පාලනයක් බිහි කිරීම මෙන්ම අමාත්‍ය මණ්ඩලය උපරිම 15 කට සීමා කිරීම, මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද සමාලෝචනය කර ඒවා කප්පාදු කිරීම ඔවුන්ගේ දෙවැනි යෝජනාව වනවා.

අත්‍යවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් කඩිනමින් සිදු කිරීම තුන්වන යෝජනාවයි. විධායක ජනාධිපති ධූරයේ බලතල කප්පාදු කරන 21 වන සංශෝධනය මාස 02 ක් තුළ ගෙන ආ යුතු බවටත්, උපරිමය මාස 06 ක් තුළ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමත් ඒ අතරට අයත්. ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට අදාළ යෝජනා ද ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. වත්කම් විමර්ශණය හා ප්‍රකාශණය නමින් ද තවත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. 

රාජපක්ෂ පවුල් හා සියලුම මහජන නියෝජිතයින්ගේ මෙන්ම සමීප ඥාතීන්ගේ වත්කම්, බැරකම් පිළිබඳ විගණනයක් සිදු කිරීම හා රටින් බැහැර වත්කම් නැවත ලබා ගැනීමට කටයුතු කිරීමද ඒ අතරට අයත්.

නීතියේ සාධාරණත්වය තහවුරු කිරීම, ජීවත් වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කිරීම හා අන්තර්වාර පාලනයෙන් පසුව පැවැත්වෙන සියලු මැතිවරණ නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම ද ඔවුන්ගේ යෝජනා අතර වනවා.

මේ අතර එම යෝජනාවලිය ඔබට මෙතැනින් බාගත කළ හැකියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles