Friday, April 26, 2024

LPL ජයග්‍රාහකයින්ට කෝටි 2 ක්

එල්.පී.එල්. හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිගහැරුම අනිද්දා (5 වැනිදා) සිට ආරම්භ වීමට නියමිතය. ඉකුත් ශූරතාව දිනූ ජැෆ්නා කිංග්ස් සහ අනුශූර ගෝල් ග්ලැඩියේටර්ස් අතර රාත්‍රී 7.30ට පැවැත්වෙන තරගයෙන් අදාළ තරගාවලියේ ආරම්භය සිදුවනු ඇත.

දෙවැනි එල්.පී.එල්. තරගාවලියේ ශූරතාව සඳහා රුපියල් මිලියන 20 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2ක මුදලක් පිරිනැමීමට සංවිධායකයෝ පියවර ගෙන තිබේ. දෙසැම්බර් 5 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ අනුශූරතාවට පත් වන කණ්ඩායමද රුපියල් මිලියන 10 ක් හෙවත්රුපියල් කෝටියක මුදලක් පිරිනැමේ.

සුපුරුදු පරිදි කණ්ඩායම් පහක සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් හැරුණු විට සෙසු සෑම කණ්ඩායමක්ම මෙවර සිය නම් වෙනස්කොට තිබුණි. කළම්බු කිංග්ස් කණ්ඩායම කළම්බු ස්ටාර්ස් වශයෙනුත්, දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම දඹුල්ල ජයන්ට්ස් වශයෙනුත්, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ජැෆ්නා කිංග්ස් වශයෙනුත්, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කැන්ඩි වොරියර්ස් වශයෙනුත් මෙවර තරගාවලියට සහභාගි වීමේ සූදානමින් සිටී.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් මෙවර සෑම කණ්ඩායමකම නායකත්වය දැරීම විශේෂත්වයකි. ඒ අනුව කළම්බු ස්ටාර්ස් පිල ඇන්ජලෝ මැතිව්ස්, දඹුල්ල ජයන්ට්ස් පිල දසුන් ශානක, ගෝල් ග්ලැඩියේටර්ස් පිල භානුක රාපක්ෂ, ජැෆ්නා කිංග්ස් පිල තිසර පෙරේරා සහ කැන්ඩි වොරියර්ස් පිල ඇන්ජලෝ පෙරේරා විසින් මෙහෙයවනු ලබයි. 5 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන තරාවලියේ මූලික වටයේ සෑම තරගයක්ම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඉන් අනතුරුව පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ පළමු, දෙවැනි සහ අවසන් මහා තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ගියවර තරගාවලියේ මුල් කණ්ඩායම් හතර අතරට පැමිණි කණ්ඩායම් අවසන් පූර්ව වටයට පිවිසි අතර මෙවර එම ආකෘතිය වෙනස්කර තිබේ. නව ආකෘතියට අනුව මුල් ස්ථාන දෙකට පැමිණෙන කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් ජය ගන්නා කණ්ඩායම එක එල්ලේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබයි.

කණ්ඩායම් අතර තුන්වැනි සහ සිවුවැනි ස්ථානයන්ට පත්වන කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සහ පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් පරාජය වූ කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම තෝරනු ලැබේ. අදාළ අවසන් මහා තරගය 23 වැනිදා රාත්‍රී 7.30ට හම්බන්තොටදී පැවැත්වීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles