Wednesday, May 8, 2024

රුසියාවේ සහයට උතුරු කොරියාවත් එයි…

රුසියාව උතුරු කොරියාවෙන් රොකට් මිලදී ගනී රුසියාව යුක්රේන යුද්ධය සදහා උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමට සූදානම් වන බව ඇමෙරිකානු නිලධාරීහු සදහන් කරති.

රොකට් මෙන්ම කාලතුවක්කු උණ්ඩ මිලියන ගණනක් උතුරු කොරියාවෙන් මිල දී ගැනීමට රුසියාව කටයුතු කරමින් සිටින බව එම නිලධාරීන් පවසා ඇත.

අවි ආයුධ ක්ෂේත්‍රයේ සුපිරි බලවතකු වන රුසියාව මේ ආකාරයෙන් උතුරු කොරියානු ආයුධ මිල දී ගන්නා තත්ත්වයට පත්ව ඇත්තේ රුසියාවට එරෙහිව බටහිර රටවල් ක්‍රියාත්මක කර ඇති දැඩි සම්බාධකවල බලපෑම නිසා බවද මෙම නිධාරීහු පවසති.

මෙම සම්බාධක නිසා රුසියාවට යුක්රේන යුද්ධය සදහා අවශ්‍යතරම් ආයුද තොග පවත්වා ගැනීම අපහසු වී ඇති බව ඔවුන්ගේ අදහසය.

රුසියාව උතුරු කොරියාවෙන් අවි මිලදී ගන්නා තත්ත්වයට වැටීම ගැන යුක්රේනය උපහාසාත්මකව අදහස් දක්වා තිබේ.

එරට ආරක්ෂක අමාත්‍යංශය මේ ගැන ට්විටර් සටහනක් තබමින් පවසා ඇත්තේ යුක්රේනය නේටෝ සංවිධානයේ ප්‍රමිතියට මාරු වෙමින් සිටියදී රුසියාව උතුරු කොරියානු ප්‍රමිතිය දක්වා ගමන් කරමින් සිටින බවය.

එය ආයුධ ක්ෂේත්‍රයට පමණක් නොව දේශපාලන ක්ෂේත්‍රයට සහ ජීවන තත්ත්වයට ද අදාළ වන්නක් බව එහි දැක්වේ.

මේ වන විට රුසියාව සහ උතුරු කොරියව අතර සබදතා වඩාත් වර්ධනය වෙමින් ඇත.

යුක්රේන යුද්ධයට වගකිව යුත්තේ ඇමෙරිකාව බව පසුගියදා උතුරු කොරියාව පවසා තිබිණි. රුසියාව සිය බලය පාවිච්චි කරන තත්ත්වයට පත් වූයේ බටහිර රටවල අධිපතිධාරී ප්‍රතිපත්ති නිසා බවට ඔවුහු චෝදනා කරති.

උතුරු කොරියාව සහ රුසියාව සිය ද්විපාර්ශ්වික සබදතා ඉදිරියේදී තවදුරටත් වර්ධනය කරගනු ඇති බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇතැයි ද උතුරු කොරයානු මාධ්‍ය සදහන් කර තිබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles