Friday, April 26, 2024

රට නව මගකට ගැනීමේ වගකීම භාර ගැනීමට සූදානම්..

මාස 6 කින් මැතිවරණයක් පැවැත්වීමේ පොරොන්දුව මත ආණ්ඩු බලය ලබා ගැනීමට සූදානම් බව ජාතික ජන බලවේගය පවසයි.

වර්තමාන දේශපාලන අර්බුදය නිම කර රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා ජාතික ජන බලවේගය අද පැවති මාධ්‍ය හමුවකදී   කෙටි කාලීන යෝජනා මාලාවක් ද ඉදිරිපත් කළේ ය.

අගමැති මහින්ද රාජපක්ෂ, ඇමතිවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු මන්ත්‍රීවරු විවිධ ආකාරයෙන් රාජ්‍ය බලය උපයෝගි කරගනිමින් ප්‍රඩණ්ඩ ක්‍රියා සැලසුම් කළ බව මේ වනවිට පැහැදිලි බව සඳහන් කළ අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, පළමු කොටම ප්‍රචණ්ඩත්වය නිර්මාණය කරන ලද අරලියගහ මන්දිරයේ කුමන්ත්‍රණකරුවන් වාහම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවිය යුතු බවයි.

පොලිස්පතිවරයා හා පොලිස් දෙපාර්තමේන්තුව තමන්ට රටතුළ නීතිය හා සාමය පවත්වා ගෙන යාමට ඇති වගකීමට අනුව ක්‍රියා කළ යුතු බව ද දිසානායක මහතා අවධාරණය කර සිටී.

රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා ජාතික ජන බලවේගයේ කෙටි කාලීන යෝජනා මාලාව මෙසේයි.

1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතුය.

2. දැනට අගමැතිවරයෙක් නොමැති තත්වයක් තුළ කථානායකවරයා තාවකාලික වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ යුතුය.

3. වර්තමාන ආණ්ඩුවත් වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතියත් තවදුරටත් ජනවරම නියෝජනය නොකරන බැවින්ද ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති හෙයින්ද වත්මන් පාර්ලිමේන්තුවේ සිදුකරන කවර හෝ වෙනසක් ජනතාව පිළිනොගන්නා බැවින්ද මාස 06ක් තුළ නව ජන වරමකින් නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුය. ඒ අතරතුර කාලය සඳහා තාවකාලික පාලන ව්‍යුහයක් ලෙස;

(අ) වත්මන් දේශපාලන අර්බුදය හා අරාජිකත්වය නිම කරමින් රට නව මගකට ගැනීමේ වගකීම බාර ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බැවින් ජාතික ජන බලවේගය ප්‍රධාන වගකීම දරමින් පාර්ලිමේන්තුව තුළින් තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුවක් බාධාවකින් තොරව පත්කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ජාතික ජන බලවේගයට ලබාදීම,
(ආ) එසේ නොමැති නම් කෙටි කලක් සඳහා වත්මන් පාර්ලිමේන්තුව තුළ අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම. එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු එහි කොටස්කරුවන් නොවී විපක්‍ෂයේ සිට ඊට සහය දක්වනු ඇත.

4. ඉහත ආකාර දෙකෙන් කුමන ආකාරයෙන් හෝ පත්වෙන තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුව පහත සඳහන් කටයුතු ඉටු කළ යුතුය.
i. ජනාධිපතිවරයාගේ බලය සීමා කරන හා වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය සීමා කරන 21වන ව්‍යවස්ථා සංශෝධනය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත යුතු ය.

ii. වර්තමානයේ ජනතාව මුහුණදී සිටින බරපතළ ආර්ථික පීඩනය අවම කිරීම සඳහා වන අත්‍යවශ්‍ය සහන ලබාදීමට පියවර ගත යුතු ය.

iii. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කරගත යුතු ය.

iv. තාවකාලික ආණ්ඩුව පිහිටුවා මාස 06ක් ඇතුළත නව පාලනයක් පිහිටුවිය හැකි වන පරිදි ඒ සඳහා වන මහ මැතිවරණය හා වත්මන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයද සහිතව ජනමත විචාරණයත් එකවිට පැවැත්විය යුතු ය.

v. එම තාවකාලික ආණ්ඩුවේ කටයුතු එකඟ වූ පරිදි සිදු වන්නේ ද යන්න අධීක්‍ෂණය කිරීම සඳහා අධීක්‍ෂණ මණ්ඩලයක් පත්කළ යුතු ය. එය වර්තමාන ජනතා සටන සමග සම්බන්ධව සිටින වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සටනේ නියෝජිතයන්, ආගමික නායකයන්, විවිධ වෘත්තීයවේදී සංවිධාන හා සිවිල් සංවිධාන නියෝජිතයන්ගෙන් සමන්විත විය යුතු ය.

Source : News first

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles