Tuesday, April 30, 2024

අදටත් අභිරහසක් වූ උපාලි විජේවර්ධනගේ අතුරුදහන් වීමට අදට වසර 39 ක්. ජීවත් උනානම් ලංකාවේ පළමු ප්‍රකෝටිපතියා..!

ලංකා ඉතිහාසය තුළ එදා මෙදා තුර පහළ වූ විශිෂ්ඨතම ව්‍යාපාරිකයෙක් ලෙස සැලකෙන උපාලි විජේවර්ධන මහතා සිය පෞද්ගලික ජෙට් යානය සමඟ අභිරහස් ලෙස අතුරුදහන් වූයේ 1983 වසරේ පෙබරවාරි 13 වැනි දා එනම් අද වැනි දිනකයි.

ලෝකයේ පලවෙනි කෝටිපතියන් කිහිපය අතරට ලංකාවේ නැත.පළවෙනි දසදහස අතරවත් ලංකාවේ කෙනෙක් ද නැත . ඒත් උපාලි විජේවර්ධන අද ජීවතුන් අතර හිටියානම් බොහෝ විට ඔහු ලෝකයේ පළවෙනි කෝටිපතියන් දහදෙනා අතරට එන්නට ඉඩ තිබුණි.

උපාලි මහතා පිලිප් උපාලි විජේවර්ධන විදිහට උපත ලැබුවේ දොන් වෝල්ටර් තුඩුගල්ලේ විජේවර්ධන මහත්මයාට සහ අනුලා කල්‍යාණවතී විජේවර්ධන මැතිණියට දාව 1938 අවුරුද්දේ පෙබරවාරි 17 වැනිදායි. තමන්ගේ සොහොයුරියන් දෙදෙනාත් එක්ක ඔහු “සේදවත්ත වලව්ව” කියලා හැඳින්වුණු කැළණියේ පිහිටි නිවසේ කුඩා කාලය ගත කළා. ලංකාවේ ප්‍රභූන් ගණනාවක් බිහි කරපු විජේවර්ධන පවුලේ සාමාජිකයෙක් නිසා අතීතයේ සෙනට් සහිකයෙක් වුණු S. C. ජයවර්ධන මහතා වගේම ලංකාවේ පළමු විධායක ජනාධිපති J. R. ජයවර්ධන මහතාත් උපාලි මහත්මයාගේ ලඟම නෑදෑයන් වෙි.

කොළඹ රාජකීය විදුහලේ ශිෂ්‍යයෙක් වුණු උපාලි “සර්ව සම්පූර්ණ” ශිෂ්‍යයෙක් විදිහට ඒ කාලේ නම් දරාගෙන හිටියා. ඔහු පාඩම් වැඩ වලටත්, ක්‍රීඩා වලටත් එක සේ දක්ෂයෙක්. මුල් කාලයේ ඉඳන්ම අශ්වයන් පදින්න ඔහුට හොඳ හැකියාවක් තිබුණු නිසාම ඒක ඔහුගේ ජනප්‍රියම ක්‍රීඩාවක් වෙලා තිබුණා. ඒ දවස් වල සමකාලීන යාළුවන් බොහෝ දෙනෙක් ක්‍රිකට් සහ රගර් ගැන උන්මාදයෙන් හිටියත් උපාලි නිතරම හීන මැව්වේ සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්නත්, පෞද්ගලික ගුවන් යානා මිලට ගන්නත්, අශ්වයන් පදින්නත් තමයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළින්ම බුහුමන් ලබපු රාජකීය විදුහලේ අධ්‍යාපනය අවසන් කළාට පස්සේ ඔහු උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගත වුණා. එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුලත් වුණු උපාලි මහතා මූලික උපාධිය වගේම ශාස්ත්‍රපති උපාධියත් හිමි කර ගත්තේ ආර්ථික විද්‍යා අංශයෙන්.

ඉතා ඉක්මනින් සැබෑ ලෝකයට පිවිසිලා තමන්ගේ හීන හැබෑ කරගන්න උවමනාව තිබුණු තරුණ උපාලි මහතා ලීවර් බ්‍රදර්ස් සමාගමේ (Lever Brothers – අද යුනිලීවර් සමාගම) පුහුණු කළමනාකරුවෙක් විදිහට රැකියාවක් හොයා ගත්තා. මේ තනතුර ඔහුට ලැබුණු හැටි ගැන බොහොම අපූරු කතන්දරයකුත් තියෙනවා. මේ තනතුරට බඳවා ගැනුණේ එකම එක පුද්ගලයෙක් විතරයි. ලීවර් සහෝදර සමාගම බොහොම නම ගිය ආයතනයක් නිසා තනතුර වෙනුවෙන් ලොකු තරඟයක් තිබුණා. ආපු අයදුම්පත් රාශිය අතරින් තෝරලා බේරලා අවසානයේ ලීවර් ආයතනය දක්ෂතම අයදුම්කරුවන් දෙදෙනා තෝරා ගත්තා. ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක් තෝරන්න හරිම අපහසු වුණාලු. මේ දෙන්නා අතරින් උපාලි මහත්මයාත් එක්කෙනෙක්.

අන්තිමේදී ලීවර් බ්‍රදර්ස් එකේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක තුමා මේ දෙන්නාටම ගෝල් ෆේස් හෝටලයේ කෑමකට ආරාධනා කරලා තියෙනවා. උපාලි මහතාට තේරුණ විදියට අනුව මේකේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ අයදුම්කරුවන් දෙදෙනා කෑම මේසයේදී හැසිරෙන විදිහ බලන එකයි. කෑම මේසයේ ආහාර ගනිමින් ඉන්නා අතරේ අනෙක් අයදුම්කරුවා තමන්ගේ සුප් බඳුනේ තිබුණු අන්තිම සුප් ටික බොන්න සුප් භාජනය ඇල කරලා තියෙනවා. ඒ මොහොතේ තමන්ට තනතුර අනිවාර්යයෙන්ම හිමි වන බව උපාලි මහත්මයාට ඒත්තු ගියාලු.

කොහොම වුණත් ටික කාලයකට පස්සේ උපාලි මහතා මේ සමාගමෙන් ඉවත් වුණා. ආයතනයේ සභාපතිවරයා ඔහුට හදලා දෙන්න කියලා කියපු වාර්තා වගයක් භාර දෙන්න බැරි වුණු එක ගැන ඇති වුණු ප්‍රශ්නයක් තමයි මේකට හේතු වුණේ. උපාලි ඉන් පස්සේ තමන්ගේ වාර්තා කොහෙද කියලා හොයා හොයා යද්දී සභාපතිවරයාගේ මේසේ උඩම තිබිලා ඒ ටික හම්බ වුණාලු.

මේ කාරණාවෙන් පස්සේ ඔහු ලීවර් බ්‍රදර්ස් ආයතනයට සමු දීලා තමන්ගේම ගමනක් යන්න එළියට බැස්සා. රටේ විශාලතම නිෂ්පාදන සමාගමක වැඩ කරලා ගත්තු අත්දැකීම් තමයි මේ වගේ තීරණයක් ගන්න ඔහුව සූදානම් කළේ.

ඩෙල්ටා ටොෆි නිෂ්පාදනයෙන් ඇරඹි උපාලි මහතාගේ ව්‍යාපාර කටයුතු පසුව කැන්ඩෝස් චොකලට් නිෂ්පාදනයටත්, රේඩියෝ සහ ටී.වි එකලස් කිරීමටත්, උපාලි කාර් සමාගම සහ උපාලි ඒවියේෂන් දක්වාත් පුළුල්ව විහිදි ගියා.

60 – 70 දශකයේ මෙරට සිටි ධනවත්ම පුද්ගලයා ලෙස සැලකුණු උපාලි විජේවර්ධන මහතාට අයත් උපාලි සමුහ ව්‍යාපාරය තුළ ලොව පුරා සේවකයින් 33,000ක් අපමණ සේවය කළ බව පැවසෙනවා.

උපාලී විජේවර්ධන 1970 වන කොට ලංකාවේ මෝටර් රථ හදන්න පටන් ගත් අතර ඔහු හදපු පළවෙනි කාර් එකේ නම යූ.එම්.සී මැස්ඩා මෝටර් රථයයි .

මේ මැස්ඩා වර්ගයේ මෝටර් රථ 500 ක් පලවෙනි වටයට නිෂ්පාදනය කරලා තියෙනවා. මේ කාර් සුදුපාටීන් හා රතුපාටීන් ලස්සනට වර්ණ ගන්වලා තිබිලා තියෙනවා . මේ නිෂ්පාදනය කරපු කාර් රථ විකුණන්න කලින් මින් එකක් කැලණිය පන්සලට පූජා කරන්න උපාලි විජේවර්ධන කටයුතු කරලා තිබෙි . එයින් අනතුරුව මෙම කාර් රථයේ පළමු වැනි ගැනුම්කරුවා වූයේ ලෝරන්ස් නැමති ව්‍යාපාරිකයෙකි .

උපාලි මැස්ඩා රථය එකල සුඛෝපභෝගි රථයක් වන අතර එකක මිල රු.90,000 ක් විය. ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය වූ ඒ රථ අපනයනය කරන්නත් එයාල ඔහු සැලසුම් කරලා තිබිල තියනවා.

ඔහු එකල මෙම කාර්රථය මිලදී අරගෙන තියෙන්නේ රුපියල් 29,000 කටයි. ඉන් පසුව මෙම මෝටර් රථ ලංකාවේ ප්‍රබල චරිත රැසක්ම භාවිතා කරලා තිබෙි . ඒ අතර ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන, අගමැති ඩඩ්ලි සේනානායක, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දෙර, ආචාර්ය ජී. එම්. ආටිගල, යූ. එන්. ගුණසේකර, ජෝර්ජ් ගෝමස්, මර්වින් පෙරේරා, ආචාර්ය සීවලි රත්වත්ත වැනි ප්‍රබල චරිතද වෙනවා.

මේ කාර් රථ වලින් දෙකක් උපාලී විජේවර්ධන මහතා භාවිතා කර ඇති අතර මේ කාර් රථ වල ලියාපදිංචි අංක වුනේ 5 ශ්‍රී 9115 සහ 6 ශ්‍රී 9999 කියන ඒවාය. මෙයින් එක මෝටර් රථයක් රන්වන් පැහැයෙන් පාට කර ඇති අතර උඩු කොටස තද දුඹුරු පාටින් පාට කරලා තිබෙි . මේ මෝටර් රථ දැනටමත් නුවර එලියේ තියෙන උපාලි විජේවර්ධනගේ බංගලාවේ තිබෙන බවයි පැවසෙන්නේ. කොහොම හරි මෑතකදි ධර්මසේන අතුපත්තු මහතාට අයිතිව තිබු පැරණි මැස්ඩා මෝටර් රථයක් ගංගාරාම විහාරයට පරිත්‍යාග කරලා තියෙනවා. අද උපාලි විජේවර්ධන මහතා හිටියනම් ලංකාවේ ආර්ථිකයත් ඒක විශාල උපකාරයක් වෙන්න තිබ්බා .

ඔහු හි⁣ටියා නමි අපට ආඩම්බරයෙන් කියන්න තිබ්බෙ අනෙක් රටවල අයට ඔයාල පදින මැස්ඩා කාර් එක අපේ රටේ හදන එකක් කියලාය. ඒත් උපාලි විජේවර්ධන අද හිටියනම් ලෝකේ පලවෙනි කෝටිපතියන් අතරට එනවා කියලා කියන්නේ මේ මැස්ඩා කාර් එක හදපු නිසාම නං නොවෙයි. රට පුරා හා ලෝකය පුරාම පැතිර ගිය දැවන්ත ව්‍යාපාර රැසක් උපාලි විජේවර්ධන සතුව තිබුණි. උපාලි විජේවර්ධන නැති වීම රටට ලොකු පාඩුවක් කියන එක නොරහසකි.

කවුරුත් දන්න ඩෙල්ටා ටොෆි, කැන්ඩොස් චොක්ලට් වල අයිතිකරු වෙන්නෙ උපාලි විජේවර්ධනයි.ඔහුගේ පළවෙනි බිස්නස් එක වූයේ වෙන්නෙ සීනි බෝල හදන එකයි. තාත්තා අතඇරල දාපු සීනි බෝල හදන මැෂින් එක ගෙනත් සීනි බෝල හදන්න පටන් ගන්නවා.

තවද උපාලි විජේවර්ධන ශ්‍රී ලංකාවේදී ඔරලෝසු, රේඩියෝ සහ TV එකලස් කරලා බෙදා හරින ව්‍යාපාරයක් ආරම්භ කළා. මේ විදිහට බෙදා හැරපු භාණ්ඩ වලට තමයි “UNIC” කියන බ්‍රෑන්ඩ් එක නිර්මාණය වුණේ.

ආසියාවේ අනික් රටවල් නොසිතූ කලක ඔහු ආසියාවේ මුලින්ම වාහන සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ එකලස් කිරීමේ කර්මාන්තශාලා ඉදිකළේය.

ඒ වගේම ඔහු “උපාලි ඒවියේෂන්” ආයතනය ආරම්භ කළා. ශ්‍රී ලංකාවේ මුල්ම දේශීය ගුවන් සේවා සහ හෙලිකොප්ටර් සේවා සමාගම එයයි.

කැන්ඩොස් චොක්ලට් සාර්ථක වනවාත් සමගම උපාලි සමූහය “පාරිභෝගික භාණ්ඩ” නිෂ්පාදනයට ආරම්භ කළ අතර “සිකුරු”, “ක්‍රිස්ටල්” සහ “ටිංගල්” කියන සබන් වර්ග තුන බිහි වෙන්නේ ඒ තුලිනි.

ඒ වගේම 1981 අවුරුද්දේ බිහි වුණු උපාලි පුවත්පත් සමාගම “දිවයින” සහ “අයිලන්ඩ්” පුවත්පත් මුද්‍රණය කරමින් පුවත්පත් කලාවට ප්‍රවේශ වෙනවා.

ඒත් ඔය අතරේ 1970 දී ශ්‍රීලනිප සමසමාජ,කොමියුනිස්ට් පක්ෂ සමග බලයට ආ සැණින්ම ධනපතියන්ට අපේ කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකෑමට ඉඩනොදිය යුතුයි යන තේමාව යටතේ ඒ සියලුම කර්මාන්ත ශාලා වසා දැමුණු අතර ලංකාවෙ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති නිසා ඔහු අන්තර්ජාතික ව්‍යාපාර වලට පිවිසිලා වැඩි කාලයක් යන්න කලින් ඔහුට මැලේසියාවේ කොකෝවා වගාවක්, නිව් යෝක් නුවර මූල්‍ය සමාගමක් සහ සිංගප්පූරුව පුරා ව්‍යාපාර ගණනාවක හිමිකරු වෙන්න හැකි වෙනවා.

උපාලි සමූහ ව්‍යාපාරය වඩාත්ම සාර්ථකව පැතිරිලා තිබුණු කාලයේ ලෝකය පුරා සේවකයන් 33,000කටත් වඩා ඔහුට අයත් සමාගම් වල සේවය කරමින් සිටියා. මේ සේවක සංඛ්‍යාව අද තියෙන විශාලම ආයතන එක්ක බැලුවත් කරට කර තියෙන අගයක් වෙි.

ව්‍යාපාර ලෝකයේ හිනිපෙත්තටම ගිය මේ විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයා සිය 45 වන උපන්දිනය සැමරීමට දින 04ක් ඉතිරිව තිබියදී 1983 පෙබරවාරි 13 වනදා ඔහු ගමන් කරමින් සිටි සුප්‍රසිද්ධ Learjet ජෙට් යානය මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිත තැනකදී අතුරුදහන් වූ බව කියවෙනවා.

මේ අතුරුහන් වීම ගැන නොයෙකුත් මත තිබුනත් සමහර අය කියන්නේ මේක ව්‍යාපාරික සතුරන් විසින් සිදු කල කුමන්ත්‍රණයක් බවයි.

ඔහු විදේශ රටක අදටත් ජීවත් වෙන බවට පවා කටකතා ඇති වෙලා තියෙනවා. තවත් සමහරු කියන විදිහට ඔහු සිරගත ඇති බවටත් කතාවක් ද ඇත.

කෙසේ වෙතත් එම අතුරුදහන්වීම ලක්දිව ඉතිහාසයේ මෙතෙක් නොවිසිදුන අභිරහසකි.

කෙසේ වුවත් උපාලි විජේවර්ධන අද ජීවත්ව සිටියානම් ස්ටීව් ජොබ්ස්, මාර්ක් සකර්බර්ග්, බිල් ගේට්ස් මෙන් ඉහළින් සිටින ධනවතෙකු වන බව නොවනුමානයි.

-උපුටාගැනිමකි –

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles