Sunday, May 5, 2024

අද සිනමාව ධර්මපාලතුමා නපුංසකයෙක් කරලා.

“එදා අභියෝගාත්මක රංගන අවස්ථාවන් භාරගෙන අඩනිරුවත් ජවනිකා පවා සිදුකරලා සිනමාවේ විප්ලවයක් සිදුකලේ නැත්නම් අපේ සිනමාවට මාලනී ෆොන්සේකාලා, ගීතා කුමාරසිංහලා, අනෝජා වීරසිංහලා බිහිවෙන්නේ නෑ..හැබැයි ඔවුන් චිත්‍රපටවල රඟපාන්න පටන් ගත්තේ අද වගේ කාලෙකනම් සමාජ ජාල එකතුවෙලා අනිවාර්යයෙන්ම අර නිළියන්ට පාරේ බැහැලා යන්න බැරි තත්වයක් උදා කරනවා“

තිස්ස බාලසූරීය නිෂ්පාදනය කල, නිහාල් බණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කල “සීමා නෑ ආකාසේ“ චිත්‍රපටයේ ගීත ඇල්බමය නිකුත් කිරීමේ අවස්ථාව ඊයේ (30) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවති අතර, එහිදී ආරාධිත දේශනයක් සිදුකරමින් ප්‍රවීණ මාධ්‍යවේදී සහ රංගන ශිල්පී අනුර බණ්ඩාර රාජගුරු මහතා මෙම අදහස් දැක්වීය.

“මෑත කාලීනව මම දැක්ක අභියෝගාත්මකම රංඟනය සිදුකලේ Flying Fish චිත්‍රපටයේ ගයේෂා පෙරේරා යොවුන් නිළියයි. ඒත් ඇයගේ චිත්‍රපටය ලංකාවේ මිනිස්සු බැලුවෙ නැති වුණාට එකේ නිරුවත් දර්ශනය පමණක් අන්තර්ජාලයේ කොච්චරනම් හුවමාරු වුණාද, අන්තිමට ගයේෂාට ඉන්න බැරිවෙන තරමට මේ රටේ සුචරිතවාදීන් එළව එළවා පහර දුන්නා..ඒ කාටවත් හිතන්න බැරිවුණා මේක චිත්‍රපටයක් වෙනුවෙන් කරන රංගනයක් විතරයි කියන එක..ඒක නිසා සීමා නෑ ආකාසේ කිව්වට..මේ සිනමා ආකාසේ තදබල සීමාවන් තියනවා නවක නළු නිළියන්ට“

මෙම නව චිත්‍රපටය තුලින් මාධ්‍යවේදිනියක් වන අරුණි මල්ලවආරච්චි සිනමාවට පිවිසෙන අතර, යෞවනත්වය පදනම් කරගත් තේමාවක් ඔස්සේ චිත්‍රපටය දිගහැරේ. සිනමාවේ වර්තමාන ගලායාම පිළිබඳවද මෙහිදී අනුර බණ්ඩාර රාජගුරු මහතා දැඩිසේ විවේචනය කලහ.

“නිර්මාණාත්මක චිත්‍රපට විවේචනය කරන කිසිම කෙනෙක් මේ රජ කතා ගැන, ඉතිහාස කතා ගැන හදන චිත්‍රපටිවලින් කරන විනාසෙ ගැන වචනයක් වත් තියන්නේ නෑ. බෞද්ධයාගේ මුදුන් මල්කඩ විදියට සලකන වන්දනීය දළදා වහන්සේ ගැන නිර්මාණය කරපු ශ්‍රී දළදාගමනය චිත්‍රපටයේ දළදා වහන්සේ මැජික් පෙන්වනවා, වැලි අස්සෙන් මතුවෙනවා, කුරුල්ලන්ගේ තටු අස්සෙන් මතු වෙනවා..ඒවා බලලා භක්තියක් ඇතිවෙන්නේ නෑ, පුදුම වෙනවා විතරයි..තව ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ චරිත කීයක් විනාස කලාද අද සිනමාව..ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා ගැන හදපු චිත්‍රපටයෙන් මතුවෙන්නෙ එතුමා වීරයෙක් විදිහට නෙවෙයි නපුංසකයෙක් විදිහටයි.. ඉස්සරහට තව එනවා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ ගැනත්..ඒක මොනවගේ වේවිද දන්නෙ නෑ..අන්න ඒ වගේ චිත්‍රපට විවේචනය කරන්න කව්රුවත් පෙළඹෙන්නේ නෑ..අන්තර්ජාලය භාවිත කරන ලංකාවේ උදවිය සිනමාවට දැඩි හානයක් කරලා තිබෙනවා අද වෙනකොට“

 

ජනරඟ දේවසුරේන්ද්‍ර

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles