Saturday, May 4, 2024

ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවේ කීම: ඇවන්ට් ගාර්ඩ් නාවික හමුදාවට පැවරීම..

විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා “ඇවන්ට් ගාර්ඩ්“ සමාගම සමග ඇති සියලුම ගිවිසුම් අවලංගුකර සමුද්‍ර ආරක්ෂණ සේවය සමගම ඇවන්ට් ගාර්ඩ් සමාගම නාවික හමුදාව වෙත පවරාගන්නා ලෙස අණකර ඇත.

ජනපතිවරයා ගන්නා ලද මේ තීරණය පිටුපස ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් ඇත. අමාත්‍ය තිලක් මාරපනට යහපාලන කැබිනට්ටුවේ දොර වැසෙන්නේද ඇවන්ට් ගාර්ඩ් පිළිබඳ කියවන්නට ගිය නිසාවෙන්මය. විජේදාස රාජපක්ෂට, වජිර අබේවර්ධනටද බලපෑම් එල්ලවෙද්දී ඇවන්ට් ගාර්ඩ් නැමති පහුගිය ආණ්ඩුව වැටුණු වලකටම මේ ආණ්ඩුවත් වැටෙන්නට යන බව පෙනෙන්නට තිබිණි.

එහෙත් ඇවන්ට් ගාර්ඩ් ආයතනයේ ක්‍රියාකාරකම් නාවික හමුදාව මත පැටවීම පිටපු සැඟවුණු කතාව මෙයයි.

  1. කිසිඳු රටක නාවික සෙබලෙකුට හෝ නිලධාරියෙකුට ආයුද සන්නද්ධව ජාත්‍යන්තර මුහුදු සීමාවේ නෞකාවකට ඇතුල්විය නොහැක.
  2. ඉහත ආකාරයෙන් නාවික සෙබලෙකු හෝ නිලධාරියෙකු මගී හෝ වෙළඳ නැවකට ආයුද සන්නද්ධව ඇතුල්වුවහොත් එය නාවික සම්මුති සහ සම්ප්‍රදායන් උල්ලංඝනය වෙමින් එය යුද නෞකාවක් බවට ඉබේම පරිවර්තනයවේ.
  3. එසේම ජාත්‍යන්තර නාවික සම්මුතීන්ට අනුව කිසිඳු වරායක ආයුධ ගබඩාවක් පවත්වාගෙන යා නොහැක (එබැවින් ගාලු වරාය තුලද ආයුද ගබඩාවක් පවත්වාගෙන යා නොහැක)
  4. එබැවින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇවන්ට් ගාර්ඩ් සමාගම විසින් කරන ලද ජාත්‍යන්තර මුහුදේ නාවුක ආරක්ෂක කටයුතු සිදුකල නොහැක.

ඉහත කාරණා නිසාවෙන් නිසැක වශයෙන්ම ලංකා නාවික හමුදාවට ඇවන්ට් ගාර්ඩ් සමාගම විසින් කරන ලද ක්‍රියාකාරකම් සිදුකල නොහැකි බැවින් එය පුද්ගලික සමාගමකට හෝ සමාගම් කීපයකට පැවරීමට සිදුවේ.

වත්මන් ආණ්ඩුවේ පාර්ශවයකට අවශ්‍යව ඇත්තේද ඉහත කාරණය බැවින් ඉබ්බා දියට දමන තුරු බලා සිටියේ ඉතා කැමැත්තෙන්මය. පසුගිය රාජපක්ෂ ආණ්ඩුව නිසි කළමණාකරණයක් නොකල බැවින් ඇවන්ට් ගාර්ඩ් හරහා ලංකා ආර්ථිකයට අහිමිවූ විශාල විදේශ විනිමය ප්‍රමාණය මෙම රජයට උපයාගත හැකිව තිබිණි. නමුත් මේ ආණ්ඩුවේ ඇතැම් අඳබාලයින්ට අවශ්‍ය වන්නේ ඇවන්ට් ගාර්ඩ් සමාගම මෙන්ම එහි මුදල් උල්පත පුද්ගලික සමාගම් කීපයකට පැවරීමයි.

එසේම ඇවන්ට් ගාර්ඩ් සිදුවීම සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂට පමණක් චෝදනා කරන රාජිත ඇතුලු පිරිසට අමතක කාරණය නම් පසුගිය රජය සමයේ ඇවන්ට් ගාර්ඩ් සමාගම සමග අදාල ගිවිසුම් වලට එළඹෙන්නට පුද්ගලයන් අට දෙනෙක්ගෙන් සමන්විත කමිටුවක් විසින් අවසර ලබාදුන් බවයි. එසේනම් ගෝඨාභය පමණක් බිලිගන්නටත් අනිත් අට දෙනා අතහැරීමත් තුලින් වත්මන් ආණ්ඩුව ඇවන්ට් ගාර්ඩ් සිද්ධිය පුද්ගලික කෝන්තරයක් බවට පත්කරගෙන ඇතිබව පැහැදිලිය.

ඇවන්ට් ගාර්ඩ් දොළ පිදේනිය පුදන තුරු බලා සිටින ඇත්තන් අතර මහරාජා සමූහ ව්‍යාපාරයේ අධිපති කිලී මහරාජා මෙන්ම අමාත්‍ය අර්ජුන රණතුංගද සිටින බව වාර්තාවේ. ඇවන්ට් ගාර්ඩ් විසින් සිදුකරන ලද ඉතා ඉහල වාණිජ වටිනාකමක් ඇති ක්‍රිියාවලිය තුලින් ලැබෙන්නට යන මුදල් සම්භාරය නැවත වතාවක් මේ රජය විසින්ද කුට්ටි පිටින් හිතවතුන්ට පුදන්නට යන බව පැහැදිලිවම පෙනෙන්නට ඇත.

දයා නෙත්තසිංහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles