Monday, May 6, 2024

ප්‍රජාශක්ති ඉවරයි: මාස හයක පඩිත් නෑ, මධ්‍යස්ථානවල විදුලියත් කපයි

පශු සම්පත් හා ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මකවූ ‘ප‍්‍රජාශක්ති’ ව්‍යාපෘතිය නවතා දැමීමට වත්මන් ආණ්ඩුව කි‍්‍රයාකර තිබේ.

මෙම ව්‍යාපෘතියයට තේ වතුකරයේ හා ග‍්‍රාමීය දරුවන්ට පරිගණක සහ ඉංග‍්‍රීසි දැනුම ලබාදීම දුගී දරුවන්ට පාසල් උපකරණ ලබාදීම ස්වයං රැකියා වැඩමුළු හා පුහුණු පාඨමාලා පැවැත්වීම, පෞරුෂ සංවර්ධන වැඩසටහන් ආබාධිත පිරිස් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම දෘශ්‍යාබාධිත අයට පෙනීම ලබාදීම සඳහා අක්ෂිකාච ලබාදීම, ගැබිනි මව්වරුන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම ප‍්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ හැකියාවන් වර්ධනය කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් කි‍්‍රයාවට නැගීය.

දිවයින පුරා මධ්‍යස්ථාන 43ක් ඒ සඳහා පිහිටුවාතිබූ අතර අදාළ මධ්‍යස්ථානවල විදුලිබිල් නොගෙවීම හේතුවෙන් 2015 ජනවාරි මාසයේ සිට එම මධ්‍යස්ථාන හතළිස්තුනේම විදුලිය විසන්ධිකර ඇත.

මීට අමතරව මෙම මධ්‍යස්ථාන 43ට අනුයුක්තව සේවය කරන නිලධාරීන් 153 දෙනෙකු සඳහා මාස හයක වැටුප් මෙතෙක් ලබාදී නොමැත.

ග‍්‍රාමීය හා වතු යටිතල පහසුකම් නැංවීම සුබසාධනය තේමා කරගනිමින් ප‍්‍රජාශක්ති ව්‍යාපෘතිය ආරම්භකර ඇත්තේ 2012 වසරේදීය.

දින 100 ආණ්ඩුවේ විෂයභාර අමාත්‍යවරයාව සිටියේ පී. හැරිසන් මහතාය. සම්මුතිවාදී ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමේදී ප‍්‍රජාශක්ති ව්‍යාපෘතිය වතුයටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශය යටතට පත්කර ඇති අතර එහි විෂයභාර අමාත්‍යවරයා වන්නේ පී. දිගම්බරම් මහතාය.

ප‍්‍රජාශක්ති මධ්‍යස්ථාන 43ක විදුලිය විසන්ධිකර ඇති නිසා ව්‍යාපෘති ගණනාවක් මාසහයක් තිස්සේ අත්හැරදමා ඇත. ග‍්‍රාමීය දරුවන්ගේ අධ්‍යාපනය ගැබිනි මව්වරුන්ගේ පෝෂණය,පරිගණකසාක්ෂරතාවය, වතු ආශ‍්‍රිත ජනදිවිය නගාසිටුවීම ඇතුළු දහසකුත් ආකර්ෂණීය පොරොන්දු මැතිවරණ සමයේ ලබාදෙනු ලැබූවත් ආණ්ඩුවේ කෙරුවාවෙන් පෙනීයන්නේ ඒවා නිකම්ම නිකම් හිස් වචන බවය.

දයා නෙත්තසිංහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles