Sunday, April 28, 2024

කහකඩයන්ට පමණක් නීති දැම්මාම සනීපද?

රටේ බොහෝ ප්‍රශ්නවලට හේතුව ථේරවාදී භික්ෂුවගේ හැසිරීමය යන උපකල්පනය මත යහපාලන ආණ්ඩුව නව නීති මාලාවක් සහිතව ථේරවාදී භික්ෂු කතිකාවතක් නිර්මාණය කිරීමට පාර්ලිමේන්තුවේ සහය ඉල්ලා ඇත. භික්ෂූන්වහන්සේලාගේ ඇතැම් චර්යාවන් නිවැරදිවිය යුතු බවත්, ඒවා මගින් රටට සහ සමාජයට සිදුවන හානිය නතරවිය යුතුබවත් සැකයකින් තොරව පිළිගනිමින් ඒ සඳහා සහය පලකිරීමට කැමැත්තෙමු. එහෙත් කහකඩයන් ලෙසින් හඳුන්වමින් නීති සම්පාදනයට උත්සහ දැරීම තුල මතුවන ප්‍රශ්නයනම් නීති දැමිය යුත්තේ කහකඩයන්ට පමණක්ද යන්නය.

දැන් බොහොමයක් මාධ්‍ය ආයතන සහ ආණ්ඩුවට  කඩේ යන  මාධ්‍යවේදීන් මාගල් පැදුරු වැනි ලියමන් ලියන්නේ චීවරධාරීන් විවේචනය කරමින් සහ ආණ්ඩුවේ ප්‍රයත්නය අගය කරමින්ය. මුලින්ම මතුකල යුතු ප්‍රශ්නය වන්නේ මේ රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ කහකඩයන් ලෙස හඳුන්වන විනය විරෝධී සහ සමාජ විරෝධී දෑ සිදුකර චීවරධාරීන්ද යන්නය. රටේ ආර්ථිිකය ඇත්තේ මර උගුලකය, ඒ උදෙසා මූල්‍ය හෝ පාලන නීති,ප්‍රතිපත්ති සම්පාදනය කරන බවක් පෙනෙන්නට නැත. අපරාධකරුවන් සහ මිනීමරුවන්ගේ නඩු ලිපිගොනු පුස්කමින් එක තැන පල්වී ඇත, ඒවාට සිදුකරන්නට යන දෙයක් පෙනේනනට නැත.ජනතාව මත පැටවෙන බර අඩුකරන්නට නීති,ප්‍රතිපත්ති සම්පාදනයක් පෙනෙන්නට නැත.ලොකුම ප්‍රශ්නය තනපටය වූවා සේම දැන් ලොකුම ප්‍රශ්නය කහකඩයන්ය.

චීවරධාරී වැරදිකරුවන්ට,මුදලාලිලාට, යාගහෝමකරුවන්ට විරුද්ධව නීති ගෙනඒමේ වරදක් නැත.එය විනය පිටකයෙහි අන්තර්ගතයට අනුකූලවීමද වරදක් නැත. එහෙත් චූදිතයන් විය යුත්තේ මෙරට ථේරවාදී භික්ෂූන් පමණක්ද. වතුපිටි සහ කර්මාන්ත පවත්වාගෙන යමින් ආදායම් උපයන, මහා පරිමාණ හෝටල් පවත්වාගෙන යමින් ඒවා තුල විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරකම් සිදුකරන කතෝලික පූජකයන්, හින්දු පූසාරීවරුන් ඇතුලු තවත් ආගමික නියෝජිතයන්  අවශ්‍යනම් කැඳවාගෙන ගොස් පෙන්විය හැකි තරමට උදාහරණ ඇත. ඔවුන්ට විරුද්ධව අණ පනත් ගෙන එන්නට ආණ්ඩුවට වුවමනාවක් නැත, ඒ වෙනුවෙන් කිසිඳු මාධ්‍යයක් කතා කරන්නේද නැත. එසේම විවිධ යාඥා ක්‍රම වලින් ලෙඩරෝග සුවකරන බව පවසමින් ජීවිත නැතිවෙද්දී ඒවාට අණපනත්,කතිකා,නීති නිර්මාණය වූයේද නැත, අද නිර්මාණය වන බවක් පෙනෙන්නටද නැත. එසේමනම් ථේරවාදී භික්ෂූන්ගේ වැරදි අරඹයා පමණක් නීති සම්පාදනය කරන්නේ කුමක් නිසාද?

කාරණය ඉතා පැහැදිලිය. මේ රට් අති බහුතරයක් බෞද්ධ භික්ෂූන් මේ රජය සමග නැත, ඔවුන් සිටින්නේ රජයට විරුද්ධ පැත්තේය. යහපාලන රජය වසරක් ඉක්මයන තුරු පවා බලාසිටියේ තමන්ට විපක්ෂවී සිටින භික්ෂූන්ගේ දණ නැමෙන තුරුය, බල බිඳෙනතුරුය. නමුත් එය වසරක් ගතවීද එසේ නොවූ තැන්හීදී ජනාධිිපතිවරයාට මෙන්ම රජයට, ආණ්ඩුවේ ඇමැතිවරුන්ට සහ ආණ්ඩුවේ සල්ලි කොලවලින් නාලිකා,පත්තර, වෙබ් නඩත්තු කරනා බංකොලොත් මාධ්‍ය කාක්කන්ටද අවශ්‍යව ඇත්තේ අදාල භික්ෂූන් මට්ටු කරන්නටය. එසේනම් මේ නීති ප්‍රයත්නයේ නිරුවත පැහැදිලිය. එසේම මෙය රට, දැය, සමයේ උන්නතියට යන ලේබලය අලවා සිදුකරන තවත් පලිගැනීමක් බව පමණක් සඳහන්කල යුතුය. එයට සදාචාරාත්මක මුහුණුවරක් ලබාදෙන්නට ආණ්ඩුව වෙනුවෙන කටුකන බංකොලොත් ජනමාධ්‍ය සහ ඒවායේ සුනඛයන් පෙලගැසී සිටින බවද දැන් අමු අමුවේම දැකගත හැකිවනු ඇත.

ජාතිවාදයට විරුද්ධනම් රටේ එක ජාතියක් හෝ ආගමක් ඉලක්ක කරගෙන සිදුකරන මර්දනයන්ට සහ නීතිරීති සම්මතකිරීම්වලට විරුද්ධව අත එසවීමට මානුෂීය වගකීමක් ඇත. සුළු ජනවර්ග වලට පහර වදින සහ අසාධාරණකම් සිදුවන විට අවි අමෝරාගෙන, නැට්ට පුප්පාගෙන කඩාගෙන පනින පාර්ශව බෞද්ධ භික්ෂූන් පමණක් ඉලක්ක කරගෙන සිදුකරන නීති පැනවීම්වලදී ලඳ බොලඳ පූස් පැටවුන්මෙන් නිහඬය. සත්‍යයම තත්ත්වය නම් මුදල් සහ බලය අසලදී ඔවුන් අන්තිම බිංදුවට බංකොලොත්ය.එය පිළිගන්නට ඇති අකමැතිකම නිසා නිරතුරුවම තමන් සාධාරණීකරණය කරමින් වචන හරඹවල යෙදෙන්නට ඔවුන් කැමතිය. චීවරධාරීන්ගේ අකටයුතුකම් මැඩලීමට අපේ කිසිඳු විරෝධයක් නැත, නමුත් එය ඔවුන්ට පමණක් සීමාවන නීතිරීති ගෙන එන්නට රජය කටයුතු කරනවානම් එයට දැඩිසේ විරුද්ධවීමට පිට කොන්දක් පවතින බව දැනුම්දිය යුතුය.

එසේම ආණ්ඩුවේ දඩබල්ලන්ගේ කාර්යභාරය සහ මුර බල්ලන්ගේ කාර්ය සිදුකරන පාර්ශවලට දිය යුත්තේ සරල උපදෙසකි. එනම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ගොට්ට ඇල්ලූ පාර්ශවවලට ඇද සිදුව ඇත්තේ කුමක්ද යන්න හොඳින් පරික්ෂාකර බලන ලෙසයි.

මොන අණපනත් ගෙනආවද කිසිඳු ගැටළුවක් නැත. නමුත් එය එක් එක් පාර්ශව ඉලක්ක කරගෙන සිදුකරනවානම් එය බරපතල අවදානමකි. එනම් අද කහකඩයන්ට එරෙහිව ගෙන එන නීති හෙට කවුරුන් ඉලක්ක කරගෙන ගෙන ඒවිද යන්න පුරෝකථනය කල නොහැකිය. මාධ්‍යවේදීන්ගේ හැඳුනුම්පත් තහනම්කරන්නට කතිකා සිදුකල මේ රජය හෙට මාධ්‍යවේදීන්ගේ බල බිඳින්නට නීති සම්මත කරන්නට පැමිණි දිනකදී අද කහකඩයන්ට එරෙහිව අවි අමෝරාගෙන දැඟළුවත් එදාට තමන් පීඩිතයන්වන බව පමණක් සිහිතබාගන්නට ඇරයුම් කරන්නෙමු. එසේම ජනපතිවරයා ඇතුළු රජයටද දැනුම්දිය යුත්තේ යහපාලනය පිළිබඳ අම්බෙක්කාර්ගේ පොත්පත් පරීශීලනය කරන ලෙසයි.

[email protected]

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles