Monday, May 6, 2024

ගන්දර පොලීසියේ ස්ථානාධිපතිවරයාව ජනවාරි මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

ලිංගික අතවර කළැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන ගන්දර පොලීසියේ ස්ථානාධිපතිවරයා ව ජනවාරි මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් ඊයේ (28) එම නියෝගය ලබාදී ඇත.

බන්ධනාගාරගත කර සිටින සැකකාර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන විජයවර්ධන මහතා ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් නොකෙරුණු අතර, අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය, රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර නිලධාරීහු අධිකරණයට දැනුම් දී තිබේ.

එම සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා, අතවරයට පත් ආධුනික පොලිස් කොස්තාපල්වරිය අයුතු ලෙස සිරකර තබාගෙන බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවත් ඔහු අත්අඩංගුවේ සිටිය දී දුරකථන ඇමතුම් ලබාගෙන සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකර ඇති බවත් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුනි කේශලා බෝගහවත්ත මහත්මිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බෝගහවත්ත මහත්මිය අධිකරණයට පවසා ඇත්තේ, මෙම සිදුවීම පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට පත්කරන බවත් මහජනතාව මේ දෙස විමසිල්ලෙන් පසුවන බවත්ය.

අතවරයට පත් මොහොතේ දී අදාළ කොස්තාපල්වරිය සිය පෙම්වතාට ඒ බව දැනුම්දී ඇති බවත් ඇය මේ වනවිට දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවත් බෝගහවත්ත මහත්මිය අධිකරණයට පවසා තිබේ.

ගන්දර පොලීසියේ ස්ථානාධිපති නිල නිවසේ දී ඉකුත් 24 වනදා අතවරය සිදුව තිබුණු අතර, එදින රාත්‍රියේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

මෙි අතර ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා රජයේ ප‍්‍රබල ඇමැතිවරයකුගේ සමීප ඥාතියකු බවත්, ස්ථානාධිපති ධුරයක් ලබාගැනීමට සුදුසුකම් සපුරා නොතිබූ මෙම නිලධාරියා එම තනතුර ලබාගෙන ඇත්තේ අදාළ අමාත්‍යවරයාගේ ඍජු මැදිහත්වීමෙන් බවත් අනාවරණය වී ඇත.

ජනපි‍්‍රය නිරූපිකාවකට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වීම නිසා පසුගිය කාලයේ බෙහෙවින් කතාබහට ලක්වූ මෙම අමාත්‍යවරයා පොලිස්පතිවරයා විරෝධය පළකරද්දී සැකකාර නිලධාරියා ගන්දර ස්ථානාධිපති ධුරයට පත්කර ඇති බවද වාර්තා වෙයි.

මෙම නිලධාරියාට එම තනතුර ලබා ගැනීමට දකුණු පළාතේ තරුණ නියෝජ්‍ය ඇමැතිවරයකු ද මැදිහත් වී ඇති බව අනාවරණය වී ඇත. මීට පෙර දෙවරක්ම වැඩ තහනමට ලක්වී ඇති මෙම පොලිස් ස්ථානාධිපතිවරයා අවස්ථා කීපයකදීම විවිධ විනය විරෝධී කි‍්‍රයා සහ නීති විරෝධී කටයුතුවල නිරත වූ බවට චෝදනා එල්ල වූ අයෙකි.

ආධුනික පොලිස් කොස්තාපල්වරියට ලිංගික අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ වන විට ගන්දර පොලිසියේ නිලධාරිනියන් ඇතුළු දසදෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ මූලිකත්වයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ අතර මෙම අතවරයට ලක්වූ ආධුනික පොලිස් කොස්තාපල්වරිය සහ ඇය සමග රාජකාරි කළ තවත් නිලධාරිනියන් දෙදෙනකු ගන්දර පොලිසියෙන් වෙනත් පොලිස් ස්ථාන තුනකට මාරුකර යවා තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේ මෙම නිලධාරිනියට සහ ඇය වෙනුවෙන් සාක්‍ෂි ලබාදීමට ඉදිරිපත්ව සිටිනා නිලධාරිනියන්ට එල්ල වන බලපෑම්වලින් ආරක්‍ෂා කර ගැනීම සඳහා ඔවුන් මාරුකර යැවීමට කටයුතු කර ඇති බවයි. සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා මාතර අධිකරණය වෙත අද (28 දා) ඉදිරිපත් කිරීමට නියමිතය.

රාජකාරි නිල ඇඳුමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරියක් සිය නිල නිවසට ගෙන්වාගෙන බලපෑම් කර ලිංගික අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles