Wednesday, May 8, 2024

‘චැනල් 4 වීඩියෝ දර්ශන ඇත්ත’ – ජනාධිපති කොමිසම කියයි

බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය විසින් ශ්‍රී ලංකාවේ යුද්ධයේ සිදුවූ බවට විකාශය කළ යුද අපරාධ පිලිබඳ දර්ශන නිර්ව්‍යාජ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද විශේෂ කොමිසමක් විසින් තීරණය කොට තිබේ.


 අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරණගම කොමිසම් වාර්තාව විසින් ප්‍රකාශ කොට ඇත්තේ චැනල් 4 විසින් විකාශනය කරන ලද තොරතුරු නිර්ව්‍යාජ සහ ‘යුද අපරාධ සම්බන්ධයෙන් බරපතල සාක්ෂි’ සපයන බවය.


 ශ්‍රී ලංකා යුද හමුදාවේ බවට සැක කළ හැකි නිල ඇඳුමින් සැරසුණු සන්නද්ධ කණ්ඩායමක් දෑත් පසුපසට බැඳි නිරුවත් නිරායුධ පිරිසක් මරා දමන ආකාරය චැනල් 4 රූපවාහිනිය විසින් මුල් වරට රූපවාහිනියෙන් පෙන්වන ලද්දේ 2009 අගෝස්තු 25 දාය.


යුද හමුදා භටයන් විසින් රූපගත කරන ලද එම වීඩියෝ දර්ශන චැනල් 4 වෙත ලබා දී තිබුනේ JDS හෙවත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවෙදියෝ විසිනි.


 ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ යුද අපරාධ දැක්වෙන දර්ශන රැගත් රුපවාහිනී වාර්තා චිත්‍රපට කිහිපයක්ම කැලම් මැක්රේ විසින් අධ්‍යක්ෂණය කරන ලදී.


 එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර විශේෂඥයන් ගණනාවක් විසින් නිර්ව්‍යාජ බවට සහතික කරන ලද එම දර්ශන ශ්‍රී ලංකාවේ රජය සහ යුද හමුදාව විසින් අසත්‍ය බවට ප්‍රතික්ෂේප කරනු ලැබුණි.


 හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම විසින් සකස් කොට ඇති වාර්තාවෙන් ඒවායේ සත්‍යතාව තහවුරු කරමින් පවසා ඇත්තේ එමගින් නැගෙන ආකාරයේ චෝදනා ජාත්‍යන්තර අධිකරණවල විභාග කිරීම සඳහා යොදාගෙන තිබෙන බවයි.


 චැනල් 4 දර්ශන වලින් නගා ඇති චෝදනා විධිමත් අධිකරණ විමර්ශනයකට ලක් කොට, ඊට සම්බන්ධ වුවන්ට දඬුවම් පැමිණවිය යුතු බවට පරණගම ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබේ.


 හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම ගේ මුලිකත්වයෙන් අතුරුදහන් වුවන් පිළිබඳව සොයා බලන්නට 2013 දී පත් කරන ලද ජනාධිපති කොමිසම සිය වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත භාරදුන්නේ පසුගිය මාසයේ ය.


Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles