Monday, April 29, 2024

‘ජයත් නැති සුන්දරත් නැති’ පුංචි බණ්ඩා ගැන ඇමති විමල් කතා කරයි; ජනවරමට පටහැනිව ආණ්ඩුවට යන්න බැරි බවත් කියයි

ඇමති මණ්ඩලයටත් කොළේ වසා යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් පමණක් නොව එල්.එන්.ජී බලාගාරවල ඒකාධිකාරය ඇමරිකා සමාගමකට දෙනවා නම් එය ජනවරමට පටහැනියි යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය .

මේ ආණ්ඩුවට ගැන වරමක් ලබා දුන්නේ පොදුජන බලාපොරොත්තු වලට එරෙහිව යන්නට නොව පොදුජන අපේක්ෂාවන් සපථ කරන්නට බව කී විමල් වීරවංශ මහතා ජනතාව මල් වට්ටියට අත ගැසුවේ ඒ බලාපොරොත්තු ඉටු කර ගැනීමෙන් බව ද බවද සඳහන් කළේය.

නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ශ්‍රී ලංකා රජයෙන් අගතියක් සිදුවුවහොත් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමේ අයිතිය යුගදනවි ගිවිසුම හරහා පිළිගෙන ඇතැයි අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

පොදුජන පෙරමුණේ සන්ධානගත පක්ෂ එකොළහක් විසින් සංවිධාන කරන ලද මහජන මන්ත්‍රණ සභාව සම්මන්ත්‍රණය අමතමින් ඊයේ (14 )විමල් වීරවංශ මහතා මේ බව කීය.

ඇහැලියගොඩ නගරයේ පැවති මෙම සම්මන්ත්‍රණයේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා පැවසූයේ ආණ්ඩුවට ලැබුණු ජනවරම සමග කේන්ද්‍රීයව බැඳුණු තමා ඇතුළු කණ්ඩායමට ජනවරම සමග ලේ නෑදෑකමක් තිබෙන බවයි.එම නිසා ජනවරමේ අගය හොඳින් තේරෙන බව කී වීරවංශ මහතා ජනවරමට විරුද්ධ දෙයක් වෙනවා නම් සටන් කිරීමට හැකියාව තිබෙන බවද සඳහන් කළේය.

රට විනාශයට රැගෙන යමින් තිබූ පසුගිය යහපාලන ආණ්ඩුව පෙරලුවේ පොදු ජන බලාපොරොත්තු ඉටු කිරීමට බව ද විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ විවෘත ආර්ථික ගමනේ උත්පාත අවදිය පහුකරලා, දැන් ඇවිල්ලා තියෙන්නේ අවපාත අවදියට. දැන් ජනවාරිවල එනවා ඩොලර් මිලියන 500ක් පළමුවෙනි කොටස ගෙවන්න ඕනේ 18 වෙනිදාට ජනවාරි. මාසයකට යනවා තෙල්වල වියදම ඩොලර් මිලියන 300කට වඩා එක තෙල් නැවක් ගෙන්න ගන්න. ඒ 700න් ඒ 300ත් දුන්නොත් 400ට බහිනවා. අපේ පුංචි බණ්ඩා, ‘ජයත් නැති සුන්දරත් නැති’ පුංචි බණ්ඩත් දන්නේ ඒ සාස්තරේ. පුංචි බණ්ඩාගෙන් නම් මේ රටට ජයවෙලත් නෑ. කිසිම සුන්දරත්වයක් වෙලත් නෑ. පුංචි බණ්ඩා දැක්කත් මෙලෝ වගතුවක් නෑ. මොකට තියාගෙන ඉන්නවා ද කියලා මට නම් තේරෙන්නෙත් නෑ. මොකද අවුරුදු 20කට වඩා ඔය පුංචි බණ්ඩා මේ රටේ ආර්ථිකය ඔහුගේ ක්‍රමයට අරගෙන ගියා. අටවනවා මොකක් හරි ෂේප්මන්ට් එකක් දානවා, ණයක් ගන්නවා, දෙනවා, උන්නැහේ දන්නවා අර ස්ටාට් වෙන්නේ නැත්නම් වාහනය කම්බි දෙක හරි පූට්ටු කරලා ස්ටාට් කර ගන්න. හැබැයි තෙල් නෑ කියලා එයා දන්නේ නෑ. එහෙම බලනවා නම් මේ අද මුහුණදෙන අර්බුදය මීට අවුරුදු ගාණකට කලින් මේ රටේ නායකයන්ට කියන්න ඕනේ.

යම්කිසි විදියකින් නිව් ෆෝට්‍රස් සමාගමට අගතියක් වුණොත් ශ්‍රී ලංකා රජයෙන් ඒ සමාගමට අයිතිය ලබාදීලා තියෙනවා අමෙරිකාව, එංගලන්තය, යුරෝපා සංගමය, මේ රටවල් හරහා ලංකාවට සම්බාධක පනවන්න. ඒ ගිවිසුමේ එහෙම තියෙනවා. ඒවා අපි අපේ නිරීක්ෂණවලින් පෙන්වලා තියෙනවා මේක බරපතළ කාරණයක් කියලා. දැන් ඒ පරස්පරතා ගැන සාකච්ඡාව ඇමති මණ්ඩලයේ වෙනවා. මේකත් මේ රටේ අමාරු වෙලාවක්. ඒ අමාරු වෙලාවේ දී අපිට යන්න වෙන රටක් නෑනේ. අපි මොකෝ අවුල් නම් වෙන කොහේ හරි යන්න ද ? අපිට තියෙන්නේ මේ රට.ඒ නිසා අපට මේ තියුණු අර්බුදය හමුවේ මේ රට හරි මාවතට රැගෙන ඒම සඳහා කර ගහන්න ඕනෑවටත් වඩා පුළුවන්කම තියෙනවා. ඒ යුතුකම වගකීම අපි ඉටුකරනවා කියන සහතිකය තමුන්නාසේලාට දෙනවා.” යැයි අමාත්‍යවරයා පැවසීය.

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබිණි .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles