Monday, April 29, 2024

දෙමළ සිරකරුවෝද මනුෂ්‍යයෝය!

නැවත වතාවක් දෙමළ ජාතික ත්‍රස්තයන්යයි ලේබල් ගැසූ සිරකරුවන්ට නිදහස හිමි නොවීය. යුද්ධය අවසන්වී වසර හයක් ඉක්ම ගොස් ඇතත් තවමත් යුද බනියෙන් දෙමළ සිරකරුවන් රඳවාගැනීම තුලින් ත්‍රස්තවාදී බීජය මෙරටින් තුරන්කල හැකිවේයය් රජය සිතනවානම් එය කිසි ලෙසකින්වත් ඉටු නොවන හීනයක් බව කිව යුතුමය.

මේ සෑම සිරකරුවෙක්ම ත්‍රස්තවාදීන් ලෙස උපන් උන් නොවන්නේය. උපතේදී පිය පාර්ශවයෙන් ලැබෙන වාසගමේ කොතැනකවත් එල්.ටී.ටී.ඊ අකුරු හතර සඳහන්ව තිබුණේ නැත. ඔවුන් එතැනට ඇඳ දැමුවේ මේ සමාජය බව පැහැදිලි කිරීමට කොතෙක් උත්සහගත්තද තවමත් ඉන් ඵලක්වී නැත. හැමදාමත් කල අයුරින් හේතුව නැමැති සමාජය විශෝධනයකට අත නොගසමින්, ඵලය නැමැති ත්‍රස්තවාදයට බැටදීම හෝ දෙමළ ජනතාව පීඩාවට පත්කර කිසිඳු ප්‍රයෝජනයක් නැත. සෑම දෙමළෙක්ම ත්‍රස්තවාදියෙක් යැයි සිතූ සමාජයෙන් දැන් සිංහල ජනතාව මිදී එමින් පවතී. එය එක් පැත්තකින් හොඳ ප්‍රවණතාවයකි. ඒ මන්දයත් ජාතික ගැටළුව විසඳීමෙහිලා මේ සමාජ දැනුම සහ යාවත්කාලීනවීම ඉතා වැදගත්ය.

පුද්ගලිකව සැමදාම සිටින ස්ථාවරය නම් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය යනු “අනවබෝධාත්මක ගැටළුවකි“ යන්නයි. භාෂාව,සංස්කෘතිය,සමාජ වටපිටාව,දේශපාලනික සාධක යන කාරණා නිසාවෙන් මිනිස් කොට්ඨාශ දෙකක් අතර ඇතිවී ඇති මේ අනවබෝධාත්මක හැසිරීම තුළින් දෙපාර්ශවම දැඩි ලෙස පීඩාවට පත්වූ බව පිළිගත යුතුය.

වර්තමානය තුළ යම් ගැටළුවට බුද්ධිමය සහ දීර්ගකාලීන පිළිතුරක් ලබාදිය හැකි දේශපාලන පරිසරයක් නිර්මාණයවී ඇති අතර, සමාජ වටපිටාවක්ද ගොඩනැගෙමින් පවතී. තාර්කිකව පිළිතුරු සොයනවා වෙනුවට තවදුරටත් දෙමළ ජනතාව හෝ jail New_CIසිරකරුවන් පෙලීම තරයේ හෙළාදැකිය යුතු ප්‍රවේශයකි. හිත් සුවපත් කිරීම වනාහි පරම්පරා ගණනාවක් මුළුල්ලේ සිදුකලත් කරන්නට අපහසු භාවිතාමය සත්‍යයකි. ඒ නිසාවෙන් මේ සමය එයට නිවැරදි පියවරක් තැබිය හැකි කාලවකවානුවක් වුවත් එය නිකරුණේ අපතේ යන බවක් පෙනෙන්නට ඇත.

අනෙක් බොහේ තැන්වලදී මෙන්ම සිගෙදර තුලදීද දෙමළ සිරකරුවාට හිමිවන්නේ ඉතා පහල තැනක් සහ දැඩි පීඩනයක් බව ඇතුලේ සිට එළියට එන පුද්ගලයන් ගේ වචන සාක්ෂි දරයි. සමාජය තුල පෙලීම නිසාවෙන් අවි අතට ගෙන ත්‍රස්තවාදීන් බවට පත්වීමේ සිට ත්‍රස්තවාදය අවසන් කලායයි ප්‍රකාශ කරන ලක්ෂය පසුකර තවත් බොහෝ කලක් එද්දීත් තවමත් ත්‍රස්තවාදීන් ලෙස ලේබල් කර සිරගත කර තැබීම තුලින් ඔවුන් විඳි සමාජ පීඩනය නැමැති බොරපැහැ අපවිත්‍ර ගංඟාවේ පතුලටම නැවත වතාවක් ඔවුන්ව ගිල්වන්නකි.

මේ සියලු දෙනා යුද වැදුනේ මනස තුල ඉපදුණු සිතිවිලි කරණයකොට ගෙන බැවින් ඒ සිතිවිලි තුරන් වන තැනට වැඩ සිදුකිරීම පමණක්ම ජාතික ප්‍රශ්නයට දිගුකාලීන විසඳුමක් වනවා මිස නිදහස් දිනයේ සියලු ජාතීන්වල දරුවන් අත් අල්ලාගෙන පරවියන් උඩුගුවනට මුදාහල පමණින් සාමය හෝ සංහිඳියාව ආකාස්මිකව බිහිවන්නේ නැත. තවදුරටත් පාලකයන් විසින් දෙමළ ජනතාව හෝ සිංහල ජනතාව පෙලා, කුපිත කරන දල්වන ගිනි නිවන්නට අපට තවත් පරපුරු ගණනාවක් ගෙවූවද නොහැකිවනු ඇත.

ජනරඟ දේවසුරේන්ද්‍ර

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles