Monday, April 29, 2024

නීතිපති ලඟ නිදිවදින හිරුණිකාගේ ඉරණම..

යහපාලන ආණ්ඩුවට අවුරුද්දක් වන්නට ඔන්න මෙන්න තිබියදී දෙමටගොඩ තරුණයෙකු සුදු වෑන් වෙනුවට කළු ඩිපෙන්ඩරයක් මගින් පැහැරගෙන ගොස් තර්ජනය කිරීම යටතේ අසූචි වලක පැන විහින් නා ගැනීමට කොලොන්නාව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමත්විය.

සිය ආරක්ෂකයෙකුගේ පුද්ගලික ප්‍රශ්නයකට හිරුණිකා මැදිහත් වන්නේ සාමදාන විනිශ්චකාරයෙකු මගින් විසඳිය යුතු ප්‍රශ්නයකටය. මහජන නියෝජිතයෙක් වශයෙන් එයට මැදිහත්වූවත් කිසිඳු ගැටළුවක් නැත, නමුත් ඇය එහිදී භාවිතා කල ප්‍රවේශයේ බරපතල ගැටළුවක් ඇත. ඇතැම් අය කියන්නේ ඇය යන්නේද සිය පියාණන්ගේ අඩිපාරේ බවයි.

කෙසේ හෝ වීඩියෝ පට සාක්ෂි අනුව හිරුණිකාගේ ශරීර ආරක්ෂකයන් කොටුවෙද්දී ඊළඟට හිරවූයේ හිරුණිකාය. ඇය මාධ්‍ය සාකච්ඡාවක් තබා අරුම පුදුම කතා ටිකක් මාධ්‍යයට හෙළිකලා. ඒත් එක්කම මාධ්‍ය වෙතින්, ජනතාව මෙන්ම විපක්ෂය වෙතින් පැමිණි පීඩනය එක්කම හිරුණිකා සම්බන්ධව පොලීසියට පරීක්ෂණ ආරම්භකරලා ප්‍රකාශයක් සටහන් කරගන්නත් වුණා.

සාක්ෂිවලින් ඔප්පු වෙන්නේ හිරුණිකාගේ නියෝගයක් අනුව පැහැරගෙන ආපු පුද්ගලයාට තර්ජනය කිරීම සිදුකරන්නෙත් හිරුණිකාගේ කාර්යාලයේදී ඇය විසින්මයි කියලා. සිද්ධිය වෙන මොහොතේ එතන හිටපු පුංචි දැරියත් ඒක සනාථ කරලා තිබුණා. අන්තිමට පරීක්ෂණ වාර්තාව නීතිපති වෙතට ගියා. ගියා ගියාමයි තාම එතන. පහුගිය කාලේ බොහොමයක් අපරාධ සම්බන්ධ පරීක්ෂණ නීතිපතිගේ මේසය උඩට ගිහින් නිදිවදින්න පටන් ගත්ත විදිහටම හිරුණිකාගේ සිදුවීමත් එතන නතරවෙලා.

යහපාලනේ කියන්නේ මේකනම් මහින්දගේ කාලෙත් තිබ්බේ යහපාලනය කියලා කාටහරි තර්ක කරන්න පුළුවන්..මොකද දෙක අතරේ ලොකු වෙනසක් නැති නිසා. එදා සුදු වෑන් සිද්ධිවලට හරියට පරීක්ෂණවත් සිද්ධ වුනේ නෑ, දැන් පරික්ෂණ සිද්ධවුනාට ඒවට කෙළවරක් නෑ.

හිරුණිකා මන්ත්‍රීවරිය අත්අඩංගුවට අරගන්නවාද? නැද්ද? එසේත් නැතිනම් පරීක්ෂණ එතනින් ඉවරද කියන තීරණය දැන් තිබෙන්නේ නීතිපතිවරයා අතේය. ඇයගේ ඉරණම දෙස බොහොමයක් පාර්ශව විමසිල්ලෙන් බලාසිටින බව පමණක් සඳහන් කල යුතුය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles